යෝබ් 40 - Sinhala Revised Old Versionයෝබ් තමාගේ වරද පිළිගැනීම 1 තවද ස්වාමීන්වහන්සේ යෝබ්ට උත්තරදෙමින්: 2 පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක. 3 එකල යෝබ් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: 4 මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි. 5 මම එක වරක් කථාකෙළෙමි, එහෙත් උත්තර නොදෙන්නෙමි; එසේය, දෙවරක් කථාකෙළෙමි, නුමුත් තවත් එසේ කථා නොකරන්නෙමියි කීය. 6 එවිට ස්වාමීන්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තරදෙමින් කියනසේක්: 7 ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන අතර මට දන්වන්න. 8 නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද? 9 නොහොත් දෙවියන්වහන්සේට වාගේ හස්තයක් නුඹට තිබේද? උන්වහන්සේ වාගේ ශබ්දයකින් ගර්ජනාකරන්ට නුඹට පුළුවන්ද? 10 උත්කෘෂ්ටකමෙන්ද ඓශ්චර්යයෙන්ද සැරසී, මහිමයද මහන්තත්ත්වයද පැළඳ ගන්න. 11 නුඹේ උදහස වගුරුවා හැර, උඩඟු සියල්ලන් බලා, ඔවුන් පහත් කරන්න. 12 උඩඟු සියල්ලන් බලා යටත්කර, දුෂ්ටයන් ඔවුන්ගේ ස්ථානයෙහි පාගා දමන්න. 13 ඔවුන් සියල්ලන් ධූලියෙහි සඟවා, ඔවුන්ගේ මුහුණු කළුවර ස්ථානයෙහි බැඳ තබන්න. 14 එවිට නුඹේ දකුණත නුඹ ගළවන්ට පොහොසත් බැවින්, මමත් නුඹට ප්‍රශංසාකරන්නෙමි. 15 බෙහෙමොත් බලන්න, නුඹ මෙන් ඌත් සෑදුවෙමි; ඌ ගොනෙකු මෙන් තණකොළ කයි. 16 උගේ තුනටියෙහි තිබෙන උගේ ශක්තියත් උගේ බඩේ මස්ගොබවල තිබෙන උගේ බලයත් කල්පනාකරන්න. 17 ඌ උගේ වල්ගය කිහිරි ගසක් මෙන් වනන්නේය; උගේ කළවාවල නහර එකට ගෙතී තිබේ. 18 උගේ ඇට පිත්තල වැනිය; උගේ ඉළඇට යකඩ පොලු වාගේය. 19 දෙවියන්වහන්සේගේ වැඩවලින් ඌ ප්‍රධානියාය. ඌ සෑදූ තැනන්වහන්සේ උගේ කඩුව සපයාදෙනසේක. 20 මක්නිසාද ඌට කෑම සම්බවෙන්නේ වනයේ සියලු සත්වයන් ක්‍රීඩාකරන කඳුවලය. 21 ඌ නෙළුම් ගස් යට, බටවලද වගුරේද මුවාවෙහි ලගින්නේය. 22 නෙළුම් ගස් ඌට සෙවණ දෙයි; දොළේ නළා ගස්වලින් ඌ වටවී සිටියි. 23 ගංගාවක් ගලන නුමුත් ඌ තැති නොගන්නේය, යොර්දාන උගේ කට දක්වා ගලා එන නුමුත් ඌ නිර්භීතව සිටියි. 24 ඌ බලාසිටියදී ඌ අල්ලාගන්ටවත් උගේ නාසය මලපත්වලින් සිදුරු කරන්ටවත් පුළුවන්ද? |
Ceylon Bible Society
Ceylon Bible Society