Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 4 - Sinhala Revised Old Version


එලීපස්ගේ පළමුවෙනි කථාව

1 එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:

2 යමෙක් නුඹ සමඟ කථාකරන්ට සිතට ගත්තොත් නුඹ අප්‍රසන්න වන්නෙහිද? නුමුත් කථාව නවතාගන්ට පුළුවන් කාටද?

3 බලව, නුඹ බොහෝදෙනෙකුට දැනමුතුකම් දී, හෙළා වැටුණු අත් බලවත්කෙළෙහිය.

4 සෙලවෙන තැනැත්තා නුඹේ වචනවලින් නුඹ ස්ථිරකෙළෙහිය, නැමෙන දණහිස් සවිකෙළෙහිය.

5 එහෙත් දැන් ඒක නුඹට පැමිණි බැවින් නුඹ ක්ලාන්තවන්නෙහිය; එය නුඹට වදින නිසා නුඹ කැලඹෙන්නෙහිය.

6 නුඹේ විශ්වාසය නුඹේ භක්තියත්, නුඹේ බලාපොරොත්තුව නුඹේ මාර්ගවල අවංකකමත් නොවේද?

7 නිදොස්ව සිට විනාශවුණේ කව්ද කියාත් අවංක අය සිඳිනු ලැබුවේ කොතැනද කියාත් කල්පනාකරන්න.

8 මා දැක තිබෙන හැටියට අධර්මිෂ්ඨකම හාලා අයුක්තිය වපුරන්නෝ ඒවාම කපාගනිති.

9 දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.

10 සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිඳී තිබේ.

11 මහලු සිංහයා ගොදුරු නැතුව විනාශ වන්නේය, සිංහධේනුවගේ පැටව්ද විසිරයන්නෝය.

12 කාරණාවක් රහසින් මට දන්වනලද්දේය, එහි ශබ්දය හෙමින් මාගේ කනේ වැටුණේය.

13 බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,

14 මාගේ සියලුම ඇට වෙවුලෙවුවාවූ භීතියක්ද චංචලයක්ද මට පැමුණුණේය.

15 එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය.

16 ආත්මය නැවතුණේය, නුමුත් ඒකේ ආකාරය දැනගන්ට මට නොහැකි විය; මාගේ ඇස් ඉදිරියෙහි ස්වරූපයක් තිබුණේය. නිශ්ශබ්දකමක්ද වූයේය, එවිට හඬක් මට ඇසුණේය; එනම්,

17 මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද? මනුෂ්‍යයෙක් තමාගේ මැවුම් කාරයාණන්ට වඩා පිරිසිදුද?

18 බලව, උන්වහන්සේ තමන් මෙහෙකරුවන් කෙරෙහි විශ්වාසය නොතබනසේක; තමන්ගේ දූතයෝ අනුවණයෝයයි ඔවුන්ට දොස් තබනසේක.

19 ධූලියෙහි අත්තිවාරම ඇති, මැටි ගෙවල වාසයකරන්නන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද! කාවෙකු මෙන් ඔව්හු පොඩිකරනු ලබති.

20 උදය පටන් සවස දක්වා ඔව්හු පොඩිවී යති, ඔව්හු සදාකාලයටම නැතිවී යති, කිසිවෙක් එය නොසලකයි.

21 ඔවුන් තුළ තිබෙන උතුම්කම පහව නොයන්නේද? ඔව්හු ප්‍රඥාව නැතුවම මැරෙති.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්