Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 39 - Sinhala Revised Old Version

1 පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව නුඹට දැනගන්ට පුළුවන්ද?

2 උන්ට සම්පූර්ණවන මාස ගණන් කරන්ට නුඹට පුළුවන්ද? උන් බිහිකරන කාලය නුඹ දන්නවාද?

3 උන් නැමී උන්ගේ පැටවුන් බිහිකර උන්ගේ රුදා පහකරගනිති.

4 උන්ගේ පැටව් ලොකුවී, එළියෙහි වැඩී, පිටත්ව ගොස් නෑවිත් සිටිති.

5 වල් කොටළුවා නිදහස්කර හැරියේ කවුද? නොහොත් වල් කොටළුවාගේ බැඳුම් මිදුවේ කවුද?

6 මම කාන්තාරය උගේ ගෙයද ලුණු භූමිය උගේ වාසස්ථානයද කොට නියමකෙළෙමි.

7 ඌ නගරයේ ඝෝෂාවට සිනාසෙයි, දක්කන්නාගේ මොරගැසීම් ඌට නෑසෙයි.

8 කඳුකර පළාත උගේ ගොදුරු බිමය, ඌ සෑම අමු දේ සොයයි.

9 කුළුහරකා නුඹට වැඩකරන්ට කැමතිවේද? ඌ නුඹේ ගාලේ ලගිනවා ඇද්ද?

10 කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් ඌ නුඹ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?

11 උගේ ශක්තිය මහත් බැවින් නුඹ ඌ විශ්වාසකර, නුඹේ වැඩ ඌට භාරදෙන්නෙහිද?

12 ඌ නුඹේ අස්වැන්න ගෙනැවිත් නුඹේ පාවරට එකතුකරනවා ඇත කියා නුඹ ඌ කෙරෙහි විශ්වාසය තබන්නෙහිද?

13 පැස්බරාගේ පියාපත් ප්‍රීතිමත්ලෙස වැනෙයි, නුමුත් ඒ පියාපත් හා පිහාටු කරුණාවත්ද?

14 නැත, ඌ උගේ බිජු බිම දමා, ධූලියෙහි උණුසුම්කර,

15 ඒවා පයට පෑගෙන්ටත් වල් සතුන්ට පොඩිවෙන්ටත් පුළුවන් බව මතකනැතිකරන්නේය.

16 උගේ පැටවුන් ඌට අයිති නැතුවාක් මෙන් ඌ උන්ට තදකම් පාන්නේය. උගේ මහන්සිය නිෂ්ඵල නුමුත් ඊට උගේ සැලකිල්ලක් නැත;

17 මක්නිසාද දෙවියන්වහන්සේ උගෙන් ප්‍රඥාව වලක්වා, ඌට නුවණ නොදී ඇරියසේක.

18 ඌ පියාපත් උස්සා ගසාගන යන කල, ඌ අශ්වයාටත් අසරුවාටත් සිනාසෙන්නේය.

19 නුඹ අශ්වයාට වෙර දුන්නෙහිද? ‍ලෙළදෙන කෙඳිවලින් උගේ බෙල්ල පැළඳෙවුවෙහිද?

20 ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය.

21 ඌ මිටියාවතෙහි කුරගසා, ශක්තිය නිසා ප්‍රීතිමත්වී, යුද්ධායුධවලට මූණපාන්ට යන්නේය.

22 ඌ භයට සරදම්කොට තැති නොගෙන සිටින්නේය; කඩුවටද පිටු නොපාන්නේය.

23 ඊකොපුවද දිලියෙන හෙල්ලයද කුඩා හෙල්ලයද ඌට වැදී ශබ්ද නගින්නේය.

24 සැරකමෙන්ද කෝපයෙන්ද ඌ වේගයෙන් පැනයන්නේය; ඇසෙන්නේ හොරණෑ ශබ්දය බව ඌ විශ්වාස නොකර,

25 ඇසෙන එක එක හොරණෑ ශබ්දයට ඌ: අහා! කියමින්, දුරදීම සටනටද සේනාපතීන්ගේ ගර්ජනාව හා ඝෝෂාවටද ඉව අල්ලයි.

26 උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ නුඹේ නුවණින්ද?

27 නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ නුඹේ අණටද?

28 ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.

29 එතැන සිට ඌ ගොදුරු සොයන්නේය; දුරදීම උගේ ඇස්වලට පෙනෙන්නේය.

30 උගේ පැටව්ද ලේ උරා බොති. මළකඳන් ඇති තැනම ඌ සිටින්නේයයි කීසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්