යෝබ් 35 - Sinhala Revised Old Version1 එලීහු තවත් කථාකරමින් කියනුයේ: 2 මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි නුඹ කී එක හරිය කියා නුඹ සිතනවාද? 3 මක්නිසාද: එයින් නුඹට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් නුඹ කියන්නෙහිය, 4 නුඹටත් නුඹ සමඟ සිටින නුඹේ මිත්‍රයන්ටත් මම උත්තරදෙමි. 5 අහස දෙසට ඇස් ඔසවා බලා, නුඹට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න. 6 නුඹ පව්කළත් නුඹ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? නුඹේ වරද වැඩිවුණත් නුඹ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද? 7 නුඹ ධර්මිෂ්ඨව සිටියත් නුඹ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් නුඹේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද? 8 නුඹේ දුෂ්ටකමෙන් නුඹ වැනි මනුෂ්‍යයෙකුට නපුරක් පැමිණෙන්ට පුළුවන; එසේම නුඹේ ධර්මිෂ්ඨකමෙන් මනුෂ්‍ය පුත්‍රයෙකුට ප්‍රයෝජනයක් වෙන්ටත් පුළුවන. 9 පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති. 10 එහෙත්: පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ, 11 රාත්‍රියේදී ගීතිකා දෙන්නාවූ මාගේ මැවුම්කාර දෙවියන්වහන්සේ කොතැනදැයි කිසිවෙක් නොඅසන්නේය. 12 එහි ඔවුන් කෑගසන නුමුත්, නපුරන්ගේ උඩඟුකම නිසා, කිසිවෙක් උත්තර නොදෙන්නේය. 13 සැබවින්ම දෙවියන්වහන්සේ නිෂ්ඵලකමට ඇහුම්කන් නොදෙනසේක, සර්වපරාක්‍රමයාණෝ ඒක නොසලකනසේක. 14 එසේනම්: මම උන්වහන්සේ දෙස නොබලමියි නුඹ කියන විට ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද? නඩුව උන්වහන්සේ ඉදිරියෙහි තිබේ, උන්වහන්සේ ගැන බලාසිටින්න. 15 නුමුත් දැන් උන්වහන්සේ උදහසින් දඬුවම් නොකළ නිසාත්, අපරාධය තදලෙස නොසලකන නිසාත්, 16 යෝබ් තමාගේ මුඛය නිෂ්ඵලලෙස ඇර, දැනගැන්ම නැතුව වචන වැඩිකරගන්නේයයි කීවේය. |
Ceylon Bible Society
Ceylon Bible Society