Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 33 - Sinhala Revised Old Version

1 ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.

2 මෙන්න, මාගේ මුඛය ඇරියෙමි, මාගේ මුඛයෙහි මාගේ දිව කථාකෙළේය.

3 මාගේ කීම් මාගේ සිතේ අවංකකමින් වන්නේය; මාගේ තොල්ද තමුන් දන්නා දේ පිරිසිදු ලෙස කථාකරන්නේය.

4 දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත් කරන්නේය.

5 නුඹට පුළුවන්නම් මට උත්තරදෙන්න; මට විරුද්ධව සැරසී නැගිට සිටින්න.

6 දෙවියන්වහන්සේ වෙත නුඹ යම්සේද මමත් එසේ වෙමි. මමත් මැටියෙන් සාදනලද්දෙමි.

7 මාගේ භීතිය නුඹ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම නුඹට බරක් නොවන්නේය.

8 සැබවින් මා අසාගන සිටියදී, නුඹේ වචනවල ශබ්දය මට ඇසෙනලෙස නුඹ කථාකොට:

9 මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි. මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි;

10 උන්වහන්සේ මා ගැන විරුද්ධ කාරණා සොයාගන, සතුරෙකු කොට මා ගණන්ගන්නාසේක;

11 මාගේ පාද දඬුගසනසේක; මාගේ සියලු මාවත්වල මුරකරනසේකැයි කීවෙහිය.

12 මේ ගැන නුඹ ධර්මිෂ්ඨලෙස කථානොකෙළෙහිය, මම නුඹට උත්තර දෙන්නෙමි; මක්නිසාද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට වඩා උතුම්ය.

13 උන්වහන්සේට විරුද්ධව නුඹ විවාද කරන්නේ මක්නිසාද? උන්වහන්සේ වනාහි තමන්ගේ කිසි කාරණයක් ගැන උත්තර නොදෙනසේක.

14 මක්නිසාද මනුෂ්‍යයා නොසලකන නුමුත් දෙවියන්වහන්සේ එක වරක්, එසේය, දෙවරක්,

15 ස්වප්නයකින් හෝ, රාත්‍රියේ දර්ශනයකින් හෝ මනුෂ්‍යයන්ට බර නින්ද පැමිණෙන විට, යහන පිට නින්දේදී කථාකරනසේක.

16 එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර,

17 ඔහුගේ ප්‍රාණය මිනීවළෙනුත් ඔහුගේ ජීවිතය කඩුවේ විනාශයෙනුත් ආරක්ෂාකරන පිණිසද,

18 උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ කන් අරවා, ඔවුන්ට දුන් දැනමුතුකම් මුද්‍රාකරනසේක.

19 ඔහු තමාගේ යහනේදී වේදනාවෙන්ද තමාගේ ඇටවල නිරන්තර පොරයකින්ද දඬුවම් ලබන්නේය.

20 ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්‍රියකරන්නේය.

21 නොපෙනෙන ලෙස ඔහුගේ මාංසය ක්ෂයවී, නොපෙනුණාවූ ඔහුගේ ඇට පෑදෙන්නේය.

22 එසේය, ඔහුගේ ප්‍රාණය මිනීවළටත් ඔහුගේ ජීවිතය විනාශකාරයන්ටත් ළංවන්නේය.

23 මනුෂ්‍යයාට ඔහුගේ යුතුකම දක්වන පිණිස දහසක් අතරෙන් එක්කෙනෙක් වන දූතයෙකු එනම් තේරුම්කරදෙන කෙනෙකු ඔහුට ඇත්නම්,

24 උන්වහන්සේ ඔහුට කරුණාකොට: මිනීවළට නොබසින ලෙස ඔහු මුදන්න, මිදීමේ මිලයක් මට සම්බවීයයි කියනවා ඇත.

25 එවිට දරුවෙකුගේ මාංසයට වඩා ඔහුගේ මාංසය අලුත්වී, ඔහු තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙනවා ඇත.

26 ඔහු දෙවියන්වහන්සේට යාච්ඤා කරනවා ඇත, උන්වහන්සේ ඔහු පිළිගෙන, උන්වහන්සේගේ මුහුණ ප්‍රීතියෙන් දකින්ට සලස්වා, නැවත මනුෂ්‍යයාට ඔහුගේ ධර්මිෂ්ඨකම පමුණුවනවා ඇත.

27 ඔහු මනුෂ්‍යයන් ඉදිරියේ ගීතිකා කරමින්: මම පව්කොට යුක්තිය පෙරළුවෙමි, එහෙත් මට කිසි ප්‍රතිඵලයක් නොවීය.

28 මිනීවළට යාමෙන් උන්වහන්සේ මාගේ ප්‍රාණය මිදූසේක, මාගේ ජීවිතයද එළිය දකින්නේයයි කියනවා ඇත.

29 මනුෂ්‍යයාට ජීවත්වීමේ එළිය ලැබීමට ඔහුගේ ප්‍රාණය මිනීවළෙන් නැවත ගෙනෙන පිණිස,

30 දෙවියන්වහන්සේ දෙවරක්, එසේය, තුන්වරක්, මේ සියල්ල ඔහුට කරනසේක.

31 එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න; නිශ්ශබ්දව සිටින්න, මම කථාකරන්නෙමි.

32 කියන්ට යමක් ඇත්නම් මට උත්තරදී, කථාකරන්න, මක්නිසාද නුඹ ධර්මිෂ්ඨ බව පෙන්වන්ට කැමැත්තෙමි.

33 නැත්නම් මට ඇහුම්කන්දී, නිශ්ශබ්දව සිටින්න, මම නුඹට ප්‍රඥාව උගන්වන්නෙමියි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්