Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 32 - Sinhala Revised Old Version


එලීහුගේ කථාව (දුක් පීඩා පැමිණෙන්නේ යහපතට බවත් දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨ බවත්.)

1 තමාම ධර්මිෂ්ඨයයි යෝබ් සිතූ බැවින් මේ මනුෂ්‍යයන් තුන්දෙනනා ඔහුට උත්තරදීම නැවැත්තුවෝය.

2 එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.

3 ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.

4 එලීහු යෝබ්ට උත්තර නොදී ප්‍රමාදව සිටියේය, මක්නිසාද ඔව්හු ඔහුට වඩා වැඩිමහල්ය.

5 මේ මනුෂ්‍යයන් තුන්දෙනාගේ මුඛයෙහි උත්තරයක් නැති බව එලීහු දුටු විට ඔහුගේ උදහස ඇවුළුණේය.

6 එකල බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහු උත්තරදෙමින් කියනුයේ: මම වයසින් බාලව සිටිමි, නුඹලා නම් වයෝවෘද්ධයෝය; එබැවින් මම පස්සට වී මා දන්නා දේ නුඹලාට කියන්ට භයවීමි.

7 වෘද්ධ වයස කථාකළ යුතුය, අවුරුදු රාශිය ප්‍රඥාව ඉගැන්විය යුතු යයි කීමි.

8 එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.

9 ප්‍රඥාවන්තව සිටින්නේ මහත් අයම නොවේ, යුක්තිය දැනෙන්නේ වැඩිමහල්ලන්ටම නොවේ.

10 එබැවින්: මාගේ වචන අසන්න; මමත් දන්න දේ කියන්නෙමියි කීමි.

11 මම නුඹලාගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැයි නුඹලා සොයාගන්න තුරු නුඹලාගේ වාදයට ඇහුම්කන්දුනිමි,

12 එසේය, නුඹලාට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් නුඹලා අතරේ නොවීය.

13 එබැවින්: අපට ප්‍රඥාව සම්බවිය; මනුෂ්‍යයා නොව දෙවියන්වහන්සේ ඔහු පරාජයකරනවා ඇතැයි නොකියන්ට බලාගන්න.

14 මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් නුඹලාගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.

15 ඔව්හු කැලඹී තවත් උත්තර නොදී සිටිති, කියන්ට ඔවුන්ට වචන නැත.

16 එසේ ඔවුන් කථානොකර, තවත් උත්තරනොදී, නිකම් සිටින නිසා මම බලා සිටිම්ද?

17 ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.

18 මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.

19 මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රිකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.

20 මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.

21 මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.

22 මක්නිසාද ඉච්චාකරන්ට මම නොදනිමි. එසේ කළොත් මාගේ මැවුම්කාරයාණන්වහන්සේ ඉක්මනින් මා තුරන්කරනවා ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්