Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 28 - Sinhala Revised Old Version


(දිව්‍ය ප්‍රඥාවේ රහස.)

1 සැබවින් රිදී තිබෙන ආකරයක්ද පිරිසිදුකරන රනට ස්ථානයක්ද තිබේ.

2 යකඩ පොළොවෙන් හාරාගනු ලැබේ. ගල් උණුකර පිත්තල ලබාගනිති.

3 මනුෂ්‍යයා අන්ධකාරය පහකොට ඝනාන්ධකාරයෙත් මරණ සෙවණෙත් ගල් තීන්දුවටම සොයයි.

4 මිනිසුන් වාසයකරන තැනට දුරින් ඔහු පොළොව හාරා බසියි; ඔව්හු මනුෂ්‍යයන්ගෙන් ඈත්ව, පාදයට නොදැනෙන හැටියට එල්ලී ඉඳ එහා මෙහා පදිති.

5 පොළොවෙන් කෑම හටගනියි. නුමුත් ඇතුළත ගින්නෙන් මෙන් පෙරළා තිබේ.

6 ඒකේ ගල් අතරේ නීලමාණික්‍යද රන් සුණුද තිබේ.

7 ඒ මාවත කිසි පක්ෂියෙක් නොදනියි, උකුස්සාගේ ඇසට ඒක නොපෙනුණේය.

8 චණ්ඩ මෘගයෝ එහි පය නොතැබුවෝය, රෞද්‍ර සිංහයෙක්ද ඒ ළඟින් නොගියේය.

9 ඔහු තමාගේ අත ගිනිගල් පර්වතයට විරුද්ධව දිගුකොට, කඳු මුලින්ම පෙරළන්නේය.

10 ඔහු පර්වතවල දිය පාරවල් කපා සියලු ආකාර අනර්ඝ දේ තමාගේ ඇසින් දකින්නේය.

11 නොවැස්සෙන හැටියට ඔහු ගංගා අහුරයි; සැඟවී තිබෙන දේ එළියට ගෙනෙයි.

12 නුමුත් ප්‍රඥාව සම්බවන්නේ කොතැන්හිද? නුවණ තිබෙන තැන කොහේද?

13 මනුෂ්‍යයා ඒකේ අගය නොදනියි; ජීවතුන්ගේ දේශයෙහි ඒක සම්බනොවෙයි.

14 ඒක මා තුළ නැතැයි ගැඹුර කියන්නේය. ඒක මා වෙත නැතැයි මුහුදත් කියන්නේය.

15 රත්රන් දීලා ඒක ගන්ට බැරිය, ඒකේ වටිනාකමට රිදී කිරා දීලාවත් එය ලබාගත නොහැකිය.

16 ඒක ඕපීර්හි රනින්වත් අනර්ඝ නඛමාණික්‍යයෙන්වත් නීලකාන්තයෙන්වත් මිලකරන්ට බැරිය.

17 රන්වන් වීදුරුවත් ඊට සමාන නොවේ; පවිත්‍ර රන් ආභරණවලට ඒක මාරුකරන්ට බැරිය.

18 රතුකැට සහ පළිඟු සඳහන් කරන්ටවත් වුවමනා නැත. එසේය, ප්‍රඥාව මුතුවලටත් වඩා අගේය.

19 කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ, පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.

20 එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?

21 ඒක පණ ඇති සියල්ලන්ගේ ඇස්වලට නොපෙනී, ආකාශ පක්ෂීන්ගෙන්ද සැඟවී තිබේ.

22 ඒකේ කීර්තිය අපේ කන්වලින් ඇසීමුයයි විනාශයත් මරණයත් කියති.

23 ඒකේ මාර්ගය දෙවියන්වහන්සේට තේරුම් තිබේ, එය තිබෙන ස්ථානයද උන්වහන්සේ දන්නාසේක.

24 මක්නිසාද උන්වහන්සේ පොළොවේ කෙළවරවල් දක්වා බලා, අහස යට සියල්ල දකිනසේක.

25 උන්වහන්සේ හුළඟ නිසි බරට හදන්ටත්, ජලයන් මිම්මකින් මනින්ටත්,

26 වර්ෂාවට නියෝගයක්ද ගර්ජනාවේ විදුලියට මාර්ගයක්ද සාදන්ටත් යෙදුණු විට,

27 උන්වහන්සේ ඒක දැක කියාදුන්සේක; ඒක ස්ථිරකර සෝදිසිකළසේක.

28 උන්වහන්සේ මනුෂ්‍යයාට කථාකොට: ප්‍රඥාව නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයින් සිටීමත් නුවණ නම් නපුරෙන් වැලකී සිටීමත්යයි වදාළසේකැයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්