Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 27 - Sinhala Revised Old Version

1 නැවත යෝබ් තමාගේ කථාව පටන්ගෙන කියනුයේ:

2 මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,

3 (මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,)

4 සැබවින් මාගේ තොල්වලින් අධර්මිෂ්ඨ දෙයක් නොකියන්නෙමි, මාගේ දිවෙන් ප්‍රයෝගයක් නොනික්මවන්නෙමි.

5 නුඹලා නිදොස්කිරීම මාගෙන් දුරුවේවා. මා නසින තුරුම මාගේ අවංකකම පහ නොකරන්නෙමි.

6 මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.

7 මාගේ සතුරා දුෂ්ටයෙකු මෙන්ද මාගේ විරුද්ධකාරයා අධර්මිෂ්ඨයෙකු මෙන්ද වේවා.

8 අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?

9 විපත ඔහු පිටට පැමිණෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හඬගැසීම අසනවා ඇද්ද?

10 ඔහු සර්වපරාක්‍රමයාණන් තුළ ප්‍රීතිවී, නිතරම දෙවියන්වහන්සේට යාච්ඤාකරනවා ඇද්ද?

11 සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන නුඹලාට උගන්වන්නෙමි.

12 බලව, නුඹලා සියල්ලෝම එය දුටුවෝය; එසේනම් නුඹලා මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?

13 දෙවියන්වහන්සේගෙන් දුෂ්ට මනුෂ්‍යයෙකුට ලැබෙන කොටසත් බලාත්කාරකාරයන්ට සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් මේය.

14 ඔහුගේ දරුවන් බෝවෙතත් ඒ කඩුවටය; ඔහුගෙන් පැවත එන්නෝද කෑමෙන් තෘප්තියට නොපැමිණෙන්නෝය.

15 ඔහුගෙන් ඉතුරු අය වසංගතයෙන් මිනීවළට පත්වන්නෝය, ඔහුගේ වැන්දඹුවෝද නොවැලපෙන්නෝය.

16 ඔහු පස් වාගේ රිදී ගොඩකරගන, මැටි වාගේ වස්ත්‍ර සපයාගත්තත්,

17 ඔහු සපයන ඒවා ධර්මිෂ්ඨයා ඇඳගන, නිර්දෝෂ අය ඒ රිදී බෙදාගන්නවා ඇත.

18 කාවා මෙන්ද පැල් රකින්නා සාදන මඩුවක් මෙන්ද ඔහු තමාගේ ගෙය ගොඩනගයි.

19 ඔහු පොහොසත්ව සැතපෙන නුමුත් තවත් එසේ නොකරන්නේය; ඔහු තමාගේ ඇස් ඇර බලන්නේය, එවේලේම නැතිවී යන්නේය.

20 භයානකකම් ජලයන් මෙන් ඔහු පිටට පැමිණෙන්නේය; රාත්‍රියේදී කුණාටුවක් ඔහු පැහැරගෙන යන්නේය.

21 පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි; එය ඔහුගේ ස්ථානයෙන් ඔහු හෙළා දමයි.

22 ඔහු දෙවියන්වහන්සේගේ හස්තය කෙරෙන් පලායන්ට හදන නුමුත්, උන්වහන්සේ ඔහුට කරුණා නොකොට ඔහු පිටට පහර එවනවා ඇත.

23 මනුෂ්‍යයෝ අත්පිඩිගසා නිග්‍රහකොට ඔහුගේ ස්ථානයෙන් ඔහු පන්නා දමන්නාහුය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්