Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 26 - Sinhala Revised Old Version


යෝබ්ගේ උත්තරය

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:

2 නුඹ ශක්තිය නැත්තාට උපකාරකළ හැටි! බලය නැති හස්තය මුදාදුන් හැටි!

3 නුවණ නැත්තාට දැනුමැතිකම් දී, සැබෑ දැනගැන්ම බොහෝසෙයින් ප්‍රකාශකළ හැටි!

4 නුඹ කාට වචන කීවෙහිද? නුඹෙන් නික්ම ආවේ කාගේ ආත්මයද?

5 ජලය හා එහි වැසියන්ට යටින් නැසීගිය අය වෙවුලති.

6 ෂෙයෝල උන්වහන්සේ ඉදිරිපිට ඇරී තිබේ, අබද්දොනටද වැස්මක් නැත.

7 උන්වහන්සේ ගුවන්තලය මතුයෙහි උතුරු ප්‍රදේශය දිගහරිනසේක, පොළොවද අවකාශයෙහි එල්ලා තබනසේක.

8 උන්වහන්සේ තමන්ගේ ඝන වලාකුල්වල වතුර බැඳ තබනසේක; වලාකුළද ඒ යටින් නොපැළෙයි.

9 උන්වහන්සේ තමන් වලාකුළ අතුරා, සිංහාසනය නොපෙනෙන ලෙස වසනසේක.

10 එළිය අඳුරට මාරුවෙන මායිම දක්වා උන්වහන්සේ ජල මතුයෙහි චක්‍රයක් ඇඳ තිබේ.

11 උන්වහන්සේගේ තරවටුවට අහසේ කණු වෙවුලා ත්‍රස්තවෙති.

12 උන්වහන්සේ තමන්ගේ බලයෙන් මුහුද නිශ්චලකරනසේක; තමන්වහන්සේගේ නුවණින් රාහබ්ට ඇන දමනසේක.

13 උන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන අහස අලංකාරව තිබේ; උන්වහන්සේගේ අත ශීඝ්‍ර සර්පයා තුවාලකළසේක.

14 මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්