Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 23 - Sinhala Revised Old Version


යෝබ්ගේ උත්තරය

1 එවිට යෝබ් උත්තරදෙමින් කියනුයේ:

2 අද දක්වාම මාගේ විලාපය දුක්ඛිතය; මට වැදී තිබෙන පහර මාගේ කෙඳිරිගෑමට වඩා බරය.

3 අහෝ උන්වහන්සේගේ ආසනය ළඟටම පැමිණ, උන්වහන්සේ සම්බවෙන්ට පුළුවන් තැන දැනගන්ට ඇත්නම්!

4 එවිට උන්වහන්සේ ඉදිරියෙහි මාගේ නඩුව පිළිවෙළට තබන්නෙමි, මාගේ මුඛයද තර්කවලින් පුරවන්නෙමි.

5 උන්වහන්සේ මට උත්තරදෙන වචන දැනගන්නෙමි, මට කියන දේ තේරුම්ගන්නෙමි.

6 උන්වහන්සේ තමන් බලයේ මහත් කමින් මා සමඟ විවාදකරනවා ඇද්ද? නැත, උන්වහන්සේ මට ඇහුම්කන් දෙනවා ඇත.

7 එහිදී ධර්මිෂ්ඨ අයට උන්වහන්සේ සමඟ කාරණා කියා සිටින්ට පුළුවන; මෙසේ මාගේ විනිශ්චයකාරයාණන්ගෙන් සදාකාලයටම මිදෙන්ට මට පුළුවන්වන්නේය.

8 නුමුත් මා ඉස්සරහට ගියත් උන්වහන්සේ එහි නැත; මා පස්සට ගියත් උන්වහන්සේ දකින්ට නොහැකිවෙමි.

9 වම් පැත්තෙහි උන්වහන්සේ ක්‍රියාකරන කල උන්වහන්සේ දකිනු නොහැක්කෙමි. දකුණු පැත්තෙහිද මට නොපෙනෙන ලෙස උන්වහන්සේ සැඟවෙන සේක.

10 එහෙත් උන්වහන්සේ මා යන මාර්ගය දන්නාසේක; උන්වහන්සේ මා පරීක්ෂාකළ කල්හි මම රන් මෙන් නික්ම එන්නෙමි.

11 මාගේ පාදය උන්වහන්සේගේ අඩි පාර අනුවම ගියේය; මම අහක් නොවී උන්වහන්සේගේ මාර්ගයෙහිම ගියෙමි.

12 උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.

13 එහෙත් උන්වහන්සේගේ අදහස එකක්මය, උන්වහන්සේ හරවන්නේ කවුද? තමන්වහන්සේගේ සිතට කැමති දෙයම උන්වහන්සේ කරනසේක.

14 එසේය, මා ගැන නියමකර තිබෙන දේ උන්වහන්සේ ඉෂ්ටකරනසේක. එබඳු බොහෝ කාරණා උන්වහන්සේ වෙත තිබේ.

15 එබැවින් මම උන්වහන්සේ ඉදිරියෙහි කැලඹෙමි; කල්පනාකරන කල උන්වහන්සේ ගැන භයවෙමි.

16 දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක, සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක.

17 ඒ වනාහි අන්ධකාරය පැමිණෙන්ට මත්තෙන් මා සිඳිනු නොලැබූ නිසාත් උන්වහන්සේ මාගේ මුහුණෙන් ඝනාන්ධකාරය නොසැඟෙවු නිසාත්ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්