යෝබ් 22 - Sinhala Revised Old Versionඑලීපස්ගේ තුන්වෙනි කථාව 1 එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ: 2 මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේට ප්‍රයෝජනවිය හැකිද? සැබවින් නුවණ ඇති තැනැත්තේ තමාටම ප්‍රයෝජනවත්ව සිටියි. 3 නුඹ ධර්මිෂ්ඨව සිටියත් සර්වපරාක්‍රමයාණන්ට එයින් කිසි සතුටක් ඇද්ද? නුඹ නුඹේ මාර්ග සම්පූර්ණකරගත්තත් එයින් උන්වහන්සේට කිසි ලාභයක් ඇද්ද? 4 උන්වහන්සේ නුඹට තරවටුකර නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නේ නුඹේ භක්තිය නිසාද? 5 නුඹේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? නුඹේ අයුතුකම්වලට කෙළවරක් නැත. 6 මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය, 7 ක්ලාන්ත අයට නුඹ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය. 8 නුමුත් බලවතාට දේශය අයිති විය; ගරුකටයුතු තැනැත්තේද එහි වාසයකෙළේය. 9 නුඹ වැන්දඹුවන් හිස් අතින් ඇරියෙහිය, පියා නැත්තන්ගේ අත්ද කඩනලද්දේය. 10 ඒ නිසා නුඹ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය නුඹ කලඹන්නේය, 11 නොහොත් නුඹට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද නුඹ වසාගන්නේය. 12 දෙවියන්වහන්සේ ස්වර්ගයේ උසස් තැන්හි නොසිටිනසේක්ද? මුදුන්ම තාරකාව කොපමණ උසදැයි බලන්න! 13 නුඹ කථාකොට: දෙවියන්වහන්සේ දන්නේ කුමක්ද? ඝනාන්ධකාරය මැදින් සිට උන්වහන්සේට විනිශ්චයකරන්ට පුළුවන්ද? 14 උන්වහන්සේට නොපෙනෙන හැටියට ඝන වලාකුල් උන්වහන්සේට මුවාවක්ව තිබේ; උන්වහන්සේ ආකාශ කුක්ෂිය මත්තෙහි ගමන්කරනසේකැයි කියන්නෙහිය. 15 දුෂ්ට මනුෂ්‍යයන් ඇවිද්දාවූ පුරාණ මාවතෙහිම නුඹ හැසිරෙන්නෙහිද? 16 ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය. 17 අප වෙතින් අහක්ව ගිය මැනව කියාත් සර්වපරාක්‍රමයාණන් අපට මක්කරනවා ඇද්ද කියාත් ඔව්හු දෙවියන්වහන්සේට කීවෝය. 18 එහෙත් උන්වහන්සේ යහපත් දෙයින් ඔවුන්ගේ ගෙවල් පිරෙවුසේක. නුමුත් දුෂ්ටයන්ගේ මන්ත්‍රණය මාගෙන් දුරුව තිබේ. 19 ධර්මිෂ්ඨයෝ ඒ දැක සන්තෝෂවෙති; නිර්දෝෂ අය අපහාසයෙන් ඔවුන්ට සිනාසී: 20 අපට විරුද්ධව නැගුටුණු අය සැබවින් සිඳිනු ලැබුවෝය, ඔවුන්ගේ ඉතිරිවූ දෙය ගින්නෙන් දාලා ගියේයයි කියති. 21 ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් නුඹට ශුභසිද්ධ වන්නේය. 22 උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන නුඹේ හිතේ තබාගන්න. 23 නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය. 24 නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න; 25 එවිට සර්වපරාක්‍රමයාණෝ නුඹේ වස්තුවද නුඹට අනර්ඝ රිදීද වනසේක. 26 මක්නිසාද එකල නුඹ සර්වපරාක්‍රමයාණන් කෙරෙහි ප්‍රීතිමත්වී, නුඹේ මුහුණ දෙවියන්වහන්සේ දෙසට ඔසවනවා ඇත. 27 නුඹ උන්වහන්සේට යාච්ඤාකරන කල උන්වහන්සේ නුඹට උත්තර දෙනවා ඇත; නුඹද නුඹේ භාර ඉෂ්ටකරනවා ඇත. 28 නුඹ කාරණයක් නියමකරගත් කල්හි ඒක නුඹට ස්ථිරවන්නේය; නුඹේ මාර්ග කෙරෙහිද එළිය බැබළෙන්නේය. 29 ඔවුන් පහකරනු ලබන විට: උසස්වීම ඇත කියා නුඹ කියන්නෙහිය; උන්වහන්සේද යටහත් ඇස් ඇති අය ගළවනසේක. 30 නිදොස් නොවන තැනැත්තා පවා උන්වහන්සේ මුදනසේක; එසේය, නුඹේ අත්වල පිරිසිදුකම නිසා ඔහු මුදනු ලැබේයයි කීවේය. |
Ceylon Bible Society
Ceylon Bible Society