Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 18 - Sinhala Revised Old Version


බිල්දද්ගේ දෙවෙනි කථාව

1 එවිට ෂූහියවූ බිල්දද් උත්තරදෙමින් කියනුයේ:

2 ‍නුඹලා කොපමණ කල් වචනවලට උගුල් තබන්නහුද? තේරුම්ගන්න, පසුව කථාකරමුව.

3 අප තිරිසනුන් මෙන් ගණන්ගනු ලබන්නෙත් නුඹලාගේ ඇස්වලට අපවිත්‍රව පෙනෙන්නෙත් මක්නිසාද?

4 තමාගේ කෝපයෙන් තමාම ඉරා ගන්න කෙනෙක්වූ නුඹ නිසා, පොළොව අත්හරිනු ලබන්ටත් නොහොත් පර්වතය ස්වකීය ස්ථානයෙන් අහක්ව යන්ටත් ඕනෑද?

5 එසේය, දුෂ්ටයාගේ එළිය නිවීයන්නේය, ඔහුගේ ගිනිදැල්ද නොබැබළෙන්නේය.

6 එළිය ඔහුගේ කූඩාරමෙහි අඳුරු වන්නේය. ඔහුට උඩින් ඔහුගේ පහනද නිවී යන්නේය.

7 ඔහුගේ වේගවත් අඩි හිරවන්නේය, තමාගේම මන්ත්‍රණයෙන් ඔහු වැටෙන්නේය.

8 මක්නිසාද තමාගේ පාදවලින් ඔහු දැලකට අසුවන්නේය, ඔහු මලපත් උඩ ඇවිදින්නේය.

9 උගුලක් ඔහුගේ විලුඹ අසුකරගන්නේය, මලපතක් ඔහු අල්ලාගන්නේය.

10 ඔහුට බිම තොණ්ඩුවක්ද පාරේ උගුලක්ද සඟවා තබා තිබේ.

11 භීතිය ඔහු හාත්පසින් භයගන්වමින් ඔහුගේ පාද ළඟම එළවා යන්නේය.

12 බඩගින්නෙන් ඔහුගේ ශක්තිය හීනවන්නේය, කොරගසමින් යන ඔහුට විපත්තිය ළංවන්නේය.

13 එය ස්වකීය හමේ කොටස් කාදමන්නේය, ඔහුගේ කුළුඳුලා ඔහුගේ අවයව කාදමන්නේය.

14 ඔහු තමාගේ විශ්වාසය වන තමාගේ කූඩාරමෙහි උදුරනු ලැබ, භයංකරකම්වල රජු ළඟට ගෙනයනු ලබන්නේය.

15 ඔහුට අයිති නැති අය ඔහුගේ කූඩාරමෙහි වසන්නෝය; ඔහුගේ නිවස පිටටද ගෙන්දගම් වස්වනු ලබන්නේය.

16 යටින් ඔහුගේ මුල් වියළීයයි, උඩින් ඔහුගේ අතු කපාදමනු ලබන්නේය.

17 ඔහු ගැන සිහිවීම පොළොවෙන් නැතිවීයන්නේය, අසල් ගම්වල ඔහුගේ නම නොකියවෙන්නේය.

18 එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.

19 ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.

20 භීතිය පළමු සිටි අය අසුකරගත්තාක්මෙන් පසුව පැමිණෙන අය ඔහුගේ දවස ගැන විස්මපත්වන්නෝය.

21 සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථාන මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්