Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 17 - Sinhala Revised Old Version

1 මාගේ ආත්මය ක්ෂයවී මාගේ දවස් ගෙවී ගියේය, මට ඇත්තේ මිනීවළය.

2 සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.

3 ඔබ වෙතම උකසක් තබාගෙන මට ඇපවුව මැනව; මාගේ අතට අතගසන්ට ඉන්නේ වෙන කවුද?

4 මක්නිසාද ඔබවහන්සේ ඔවුන්ගේ සිත්වලින් නුවණ සඟවා තිබේ. එබැවින් ඔබ ඔවුන් උසස් නොකරනසේක.

5 තමාගේ මිත්‍රයන් කොල්ලයක් පිණිස පාවාදෙන යමෙක් ඇද්ද, ඔහුගේ දරුවන්ගේ ඇස් පවා ක්ෂයවී යනවා ඇත.

6 උන්වහන්සේ මා සෙනඟ අතරේ නින්දා පාඨයක් කළසේක; මම ඔවුන්ට කෙලහීමක් වී සිටිමි.

7 මාගේ ඇස් ශෝකයෙන් අඳුරුවී තිබේ, මාගේ අවයව සියල්ලම සෙවණැල්ලක් මෙන්ය.

8 අවංක මිනිස්සු මේ ගැන විස්මිත වෙති, නිර්දෝෂ තැනැත්තා අභක්තිකයාට විරුද්ධව ඇවිස්සී සිටින්නේය.

9 එහෙත් ධර්මිෂ්ඨයා තමාගේ මාර්ගයේම පවතින්නේය, පිරිසිදු අත් ඇත්තා වඩ වඩා ශක්තිමත්වන්නේය.

10 නුමුත් නුඹලා සියලු දෙනා දැන් හැරී එන්න. නුඹලා අතරේ ප්‍රඥාවන්තයෙක් මට සම්බ නොවන්නේය.

11 මාගේ දවස් පහවී, මාගේ සිතේ සම්පත වන මාගේ අදහස් කඩවී තිබේ.

12 ඔව්හු රාත්‍රිය දවාලට පෙරළති. එළිය අන්ධකාරයට ළඟයයි කියති.

13 මාගේ ගෙය කොට ෂෙයෝල ගැන බලා සිටිමි, අන්ධකාරයෙහි මාගේ යහන අතුළෙමි.

14 නුඹ මාගේ පියායයි කුණුවීමටත් නුඹ මාගේ මවු සහ සහෝදරීයයි පණුවාටත් කීවෙමි.

15 එසේ නම් මාගේ බලාපොරොත්තුව කොතැනද? මාගේ බලාපොරොත්තුව පෙනෙන්නේ කාටද?

16 ධූලියෙහි නිශ්චලය ලැබූ හැටියේම ඒක ෂෙයෝලේ අගුල් දක්වා බසිනවා ඇතැයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්