Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 12 - Sinhala Revised Old Version


යෝබ්ගේ උත්තරය

1 එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:

2 නොඅනුමානවම මිනිස්සු නම් නුඹලාය, නුඹලා නසින විට ප්‍රඥාවත් නසිනවා ඇත.

3 මටත් නුඹලාට වාගේම බුද්ධිය තිබේ; මම නුඹලාට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?

4 මම දෙවියන්වහන්සේට යාච්ඤාකොට උන්වහන්සේගෙන් උත්තර ලැබූ මනුෂ්‍යයෙක් නුමුත් තමාගේ අසල්වාසියාට විහිලුවක් වූ කෙනෙක් මෙනි. ධර්මිෂ්ඨවූ අවංක මනුෂ්‍යයා විහිලුවක්ය.

5 සැපෙන් සිටින අය තමාගේ සිතින් විපත්තිය ඇත්තා සුළුකරන්නේය; පාද ලිස්සන්නාවූ අයට ඒ සුළුකිරීම සූදානම්ව තිබේ.

6 කොල්ලකාරයන්ගේ කුඩාරම් සඵල වෙති, දෙවියන්වහන්සේ උදහස්කරවන්නෝද සුරක්ෂිතව සිටිති; දෙවියන්වහන්සේ ඔවුන් අතට බොහෝසෙයින් දෙනසේක.

7 එහෙත් මෘගයන්ගෙන් අසන්න, උන් නුඹට උගන්වනවා ඇත; අහසේ පක්ෂීන්ගෙන් අසන්න, උන්ද නුඹට දන්වනවා ඇත.

8 නොහොත් පොළොවට කථාකරන්න, එවිට ඒක නුඹට උගන්වනවා ඇත; මුහුදේ මත්ස්‍යයන් නුඹට කියාදෙනවා ඇත.

9 ස්වාමීන්වහන්සේගේ අත මෙය කළ බව මේ සියල්ලෙන් දැන නොගන්නේ කවුද?

10 ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.

11 උඩුතල්ල කෑම රසබලන්නාක්මෙන්, කන වනාහි වචන විමසනවා නොවේද?

12 ප්‍රඥාව මහල්ලන් අතරෙහිය, වයස් වැඩිවීම ඥානයය.

13 ප්‍රඥාවත් බලයත් ඇත්තේ උන්වහන්සේ වෙතය; මන්ත්‍රණය හා නුවණ ඇත්තේ උන්වහන්සේටය.

14 බලව, උන්වහන්සේ කඩාදැමුවාම ගොඩනගනු නොලබන්නේය; උන්වහන්සේ මනුෂ්‍යයෙකු වසාතැබුවාම නිදහසක් නොවන්නේය.

15 උන්වහන්සේ වතුර නැවැත්තුවාම ඒවා හිඳී යන්නේය; නැවත උන්වහන්සේ ඒවා යැවුවාම ඒවාට පොළොව පෙරළෙන්නේය.

16 බලයත් සමර්ථකමත් තිබෙන්නේ උන්වහන්සේ වෙතය; මුළාවෙන්නාත් මුළාකරන්නාත් උන්වහන්සේට අයිතිය.

17 උන්වහන්සේ මන්ත්‍රීන් වහල්කමට පමුණුවනසේක, විනිශ්චයකාරයන්ද මෝඩයන් කරනසේක.

18 උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.

19 උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.

20 උන්වහන්සේ විශ්වාස අයගෙන් කථාව පහකරනසේක; වැඩිමහල්ලන්ගේ දැනගැන්මද ඉවත් කරනසේක.

21 උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.

22 උන්වහන්සේ අන්ධකාරයෙන් ගැඹුරු දේ එළිදරව්කර, මරණ සෙවණ ආලෝකයට පමුණුවනසේක.

23 උන්වහන්සේ ජාතීන් වර්ධනය කරනසේක, ඔවුන් නැතිකරනසේක. උන්වහන්සේ ජාතීන් පැතිරයන්ට සලස්වනසේක, ඔවුන් වහල්කමටත් ගෙනයනසේක.

24 උන්වහන්සේ පොළොවේ ජන ප්‍රධානීන්ගේ බුද්ධිය පහකොට, ඔවුන් පාරක් නැති කාන්තාරයක මුළාවයන්ට සලස්වනසේක.

25 ඔව්හු එළිය නැතුව අඳුරේ අතගගා යන්නෝය, උන්වහන්සේ ඔවුන් බේබද්දෙකු මෙන් ඔබ මොබ යන්ට සලස්වනසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්