Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 11 - Sinhala Revised Old Version


ශෝපර්ගේ පළමුවෙනි කථාව

1 එවිට නයමාතිය ශෝපර් උත්තර දෙමින් කියනුයේ:

2 වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?

3 මනුෂ්‍යයන් නුඹේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? නුඹ කවටකම්කරන කල කිසිවෙක් නුඹ ලජ්ජාවට නොපමුණුවන්නේද?

4 මක්නිසාද: මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුවෙහි පවිත්‍රව සිටිමියි නුඹ කියන්නෙහිය.

5 අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, නුඹට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!

6 ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද නුඹට පෙන්වනසේක්වා! එබැවින් දෙවියන්වහන්සේ නුඹේ සියලු අයුතුකම්වල ප්‍රමාණයට වඩා අඩුවෙන් නුඹට දඬුවම්කරන බව දැනගන්න.

7 දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට නුඹට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට නුඹට පුළුවන්ද?

8 ඒක ස්වර්ගය මෙන් උසය; නුඹට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට වඩා ගැඹුරුය; නුඹට දැනගන්ට පුළුවන් කුමක්ද?

9 ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.

10 උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?

11 මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක; කල්පනා නොකරන්නාක්මෙන් සිටින නුමුත් උන්වහන්සේ අධර්මිෂ්ඨකම දක්නාසේක.

12 නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.

13 නුඹේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද නුඹේ කූඩාරම්වල වාසය නොකෙරේවා.

14 එවිට නුඹ නුඹේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට නුඹේ අත් දිගු කළොත්,

15 නුඹ කැලලක් නැතුව නුඹේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.

16 එසේය, නුඹ නුඹේ දුක මතකනැති කර, බැසගිය ජලය මෙන් ඒ ගැන සිතනවා ඇත.

17 නුඹේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය; අන්ධකාරය තිබෙන නුමුත් එය පහන් වේලාව මෙන් වන්නේය.

18 බලාපොරොත්තුව තිබෙන බැවින් නුඹ විශ්වාසයෙන් සිටින්නෙහිය; එසේය, නුඹ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය.

19 නුඹ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය; එසේය, බොහෝ දෙනෙක් නුඹෙන් කරුණාව සොයන්නෝය.

20 නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්