Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යෝබ් 1 - Sinhala Revised Old Version


යෝබ්ගේ ධන සම්පත්තිය හා ඔහුට පත් විපත්ති

1 යෝබ් නම්වූ මනුෂ්‍යයෙක් ඌශ් දේශයෙහි සිටියේය; ඒ මනුෂ්‍යයා වනාහි නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටියාවූ කෙනෙකි.

2 ඔහුට පුත්‍රයන් සත්දෙනෙක්ද දූවරුන් තුන්දෙනෙක්ද උපන්නෝය.

3 ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.

4 තවද ඔහුගේ පුත්‍රයෝ ගොස් එකිනෙකා තම තමාගේ දවසේ, තම තමාගේ ගෙදරදී, මංගල්‍යයක් පවත්වන්ටත් තමුන් සමඟ කෑම බීම පිණිස තමුන්ගේ සහෝදරියන් තුන්දෙනාට අඬගස්වා අරින්ටත් පුරුදුව සිටියෝය.

5 ඔවුන්ගේ මංගල්‍ය දවස් ගතවූ පසු යෝබ් පණිවිඩ යවා ඔවුන් පිරිසිදුකරවා, පසුවදා අලුයම නැගිට ඔවුන් සියල්ලන්ගේ ගණන ලෙස දවන පූජා ඔප්පුකෙළේය. මක්නිසාද: සමහරවිට මාගේ පුත්‍රයන් පව්කොට, තමුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට දොස් කීවා වෙන්ට පුළුවනැයි යෝබ් කීවේය. යෝබ් සෑමවිටම මෙසේ කෙළේය.

6 තවද එක් දවසක දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමීන්වහන්සේ, ඉදිරියෙහි පෙනීසිටින්ට ආ කල්හි සාතන්ද ඔවුන් අතරෙහි ආයේය.

7 එවිට ස්වාමීන්වහන්සේ: නුඹ කොතැන සිට ආයෙහිදැයි සාතන්ගෙන් ඇසූසේක. සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: පොළොවෙහි ගමන්කොට ඔබ මොබ ඇවිද ආවෙමියි කීවේය.

8 එවිට ස්වාමීන්වහන්සේ: නුඹ මාගේ මෙහෙකරුවූ යෝබ් ගැන කල්පනාකෙළෙහිද? ඔහු මෙන් නිර්දෝෂවූ, අවංකවූ, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ, නපුරෙන් වැලකී සිටින්නාවූ මනුෂ්‍යයෙක් පොළොවෙහි නැතැයි කීසේක.

9 සාතන් ස්වාමීන්වහන්සේට උත්තරදෙමින්: යෝබ් දෙවියන්වහන්සේ කෙරෙහි භයවන්නේ නිකමටද?

10 ඔබවහන්සේ ඔහු වටකරත් ඔහුගේ ගෙදර වටකරත් ඔහුට ඇති සියල්ල වටකරත් හැම අතින්ම වැට බැඳ තිබෙනවා නොවේද? ඔබ ඔහුගේ අත් වැඩට ආශීර්වාදකළසේක, ඔහුගේ සම්පත්ද දේශයෙහි වර්ධනයවී තිබේ.

11 නුමුත් ඔබගේ අත දිගුකර ඔහුට ඇති සියල්ලට ගැසුවොත් ඔහු ඔබගේ මුහුණ ඉදිරියෙහිම ඔබ අත්හරිනවා ඇතැයි කීවේය.

12 එවිට ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය.

13 තවද එක් දවසක් ඔහුගේ පුත්‍රයන් හා දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙදර ආහාර ගනිමින් මුද්‍රිකපානය බොමින් සිටියදී මෙසේ සිද්ධවිය.

14 පණිවිඩකාරයෙක් යෝබ් වෙතට ඇවිත්: ගවයන් සීසාමින්ද උන් ළඟ කොටළු දෙනුන් තණ කමින්ද සිටින අතර

15 ෂෙබාවරු හදිසියෙන් ඇවිත් උන් අල්ලාගෙන ගියෝය; මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.

16 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: දෙවියන්වහන්සේගේ ගිනි අහසෙන් වැටී බැටළුවන්ටත් මෙහෙකරුවන්ටත් ඇවිළී, ඔවුන් දවා දැමුවේය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.

17 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: කල්දිවරු කණ්ඩායම් තුනක් සෑදී ඔටුවන් ළඟට පැමිණ උන් අල්ලාගෙන ගියෝය, මෙහෙකරුවන්ද කඩුවෙන් මැරුවෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.

18 ඔහු කථාකරද්දීම තවත් කෙනෙක් ඇවිත්: ඔබගේ පුත්‍රයන් සහ දූවරුන් තමුන්ගේ වැඩිමහල් සහෝදරයාගේ ගෙයි කමින්ද මුද්‍රිකපානය බොමින්ද සිටියදී,

19 තද හුළඟක් කාන්තාරයට එහායින් ඇවිත් ගෙයි සතර කොනට වැදී, ඒක තරුණයන් පිට වැටුණේය, ඔව්හු මැරුණෝය; ඔබට දන්වන්ට ගැළවුණේ මා පමණක්මයයි කීවේය.

20 එවිට යෝබ් නැගිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:

21 නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.

22 මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්