Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 98 - Sinhala Revised Old Version


දෙවියන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රශංසාකිරීම

1 ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.

2 ස්වාමීන්වහන්සේ ස්වකීය ගැළවීම දැන්වූසේක. ස්වකීය ධර්මිෂ්ඨකම ජාතීන්ගේ ඇස් හමුවෙහි එළිදරව්කළසේක.

3 උන්වහන්සේ ඉශ්‍රායෙල් වංශය කෙරෙහි ඇති ස්වකීය කරුණාවත් විශ්වාසකමත් සිහිකළසේක. පොළොවේ සියලු සීමාවෝ අපේ දෙවියන්වහන්සේගේ ගැළවීම දුටුවෝය.

4 පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.

5 ස්වාමීන්ට වීණාවෙන්ද වීණාවෙන් හා ගී නාදයෙන්ද ගායනා කරව්.

6 හොරණෑවලින්ද නළා ශබ්දයෙන්ද රජවූ ස්වාමීන් ඉදිරියේ ප්‍රීතිනාද පවත්වව්.

7 මුහුදද එහි ඇති සියල්ලද ගර්ජනාකෙරෙත්වා; ලෝකයද එහි වැසියෝද ගර්ජනාකෙරෙත්වා.

8 ස්වාමීන් ඉදිරියෙහි ජල ධාරාවෝ අත් පොළසන්දෙත්වා; හෙල්ද එක්ව ප්‍රීතියෙන් ගී කියත්වා;

9 මක්නිසාද උන්වහන්සේ ලෝකය විනිශ්චයකරන පිණිස එනසේක. උන්වහන්සේ ලෝකය ධර්මිෂ්ඨකමින්ද මනුෂ්‍ය වර්ගයන් සාධාරණකමින්ද විනිශ්චයකරනසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්