Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 95 - Sinhala Revised Old Version


අපේ මැවුම්කාර දෙවියන්වහන්සේට නමස්කාරකිරීම

1 එව්, ස්වාමීන්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු.

2 ස්තුතිදෙමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙමු. ගීතිකාවලින් උන්වහන්සේට ප්‍රීතිනාද පවත්වමු.

3 මක්නිසාද ස්වාමීන්වහන්සේ මහත් දෙවිකෙනෙක්ය, සියලු දෙවිවරුන්ට වඩා මහත් රජකෙනෙක්ය.

4 පොළොවේ ගැඹුරු තැන් උන්වහන්සේගේ අතෙහිය; කඳු ශිඛරද උන්වහන්සේගේය.

5 මුහුද උන්වහන්සේගේය, උන්වහන්සේ එය මැවූසේක; උන්වහන්සේ ස්වකීය අත්වලින් වියළි බිම තැනූසේක.

6 එව්, නමස්කාරකරමින් වැඳමී වැටෙමු; අපේ මැවුම්කාර ස්වාමින් ඉදිරියේ දණගසමු.

7 මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනඟය, උන්වහන්සේගේ අතේ බැටළුවෝය. අද දවසේ නුඹලා උන්වහන්සේගේ හඬට කීකරුවන්නහුනම් යහපත!

8 විවාදයෙහි මෙන්ද වනාන්තරයේදී පරීක්ෂාකළ දවසෙහි මෙන්ද නුඹලාගේ සිත් දැඩිකර නොගනිව්.

9 එකල නුඹලාගේ පියවරු මා පරීක්ෂා කොට මා විමසා මාගේ ක්‍රියාව දුටුවෝය.

10 මම සතළිස් අවුරුද්දක් ඒ පරම්පරාව කෙරෙහි කලකිරී: ඔව්හු සිතින් මුළාවයන සෙනඟක්ය, ඔව්හු මාගේ මාර්ගයන් දැන නොගත්තෝයයි කීයෙමි.

11 එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්