Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 91 - Sinhala Revised Old Version


දෙවියන්වහන්සේ කෙරෙහි අදහන්නාගේ සුරක්ෂිත භාවය

1 මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.

2 උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.

3 මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතින්ද විනාශකරන වසංගතයෙන්ද නුඹ මුදාහරිනසේක.

4 උන්වහන්සේ ස්වකීය පියාපතින් නුඹ වසනසේක, නුඹ උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂාවන්නෙහිය. උන්වහන්සේගේ සත්‍යවාදිකම පලිහක්ය, මහා පලිහක්ය.

5 රාත්‍රියේ භීතියටවත්, දවාලේ විදින ඊගසටවත්,

6 අඳුරේ යන වසංගතයටවත්, ඉරමුදුන් වේලේ පාළුකරන විනාශයටවත් නුඹ භය නොවන්නෙහිය.

7 නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය.

8 නුඹේ ඇස්වලින් බලා, දුෂ්ටයාගේ විපාකය දකිනවා පමණක්ය.

9 මක්නිසාද ස්වාමිනි, ඔබ මාගේ රක්ෂාස්ථානයය. නුඹ මහෝත්තමයාණන් නුඹේ වාසස්ථානය කරගත්තෙහිය;

10 නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.

11 මක්නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂාකරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.

12 ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත් පිට නුඹ උසුලාගන්නෝය.

13 නුඹ සිංහයාත් පොළඟාත් පාගන්නෙහිය. තරුණ සිංහයාත් සර්පයාත් පයින් පාගන්නෙහිය.

14 ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.

15 ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.

16 දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්