ගීතාවලිය 90 - Sinhala Revised Old Versionසතරවෙනි කාණ්ඩය. අපේ සදාකාල වාසස්ථානය වන දෙවියන්වහන්සේ 1 ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක. 2 කඳුවල උත්පත්තියටත් ඔබ විසින් පොළොව හා ලෝකය සෑදීමටත් පළමුවෙන්, සදාකාලයෙන් සදාකාලයටම ඔබ දෙවියන්වහන්සේය. 3 ඔබ මනුෂ්‍යයා විනාශයට හරවමින්: මනුෂ්‍ය පුත්‍රයෙනි, හැරී වරෙව්යයි කියනසේක. 4 මක්නිසාද ඔබ ඉදිරියෙහි අවුරුදු දහසක් පසුවූ ඊයේ දවසටත් රෑ යාමයකටත් සමානය. 5 ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක; ඔව්හු නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔව්හු වැඩෙන්නාවූ තණකොළ සමානවෙති. 6 උදයේ ඒවා සශ්‍රීකවෙමින් වැඩෙයි; සවස කපනු ලැබ වියළීයයි. 7 මක්නිසාද ඔබගේ කෝපයෙන් අපි විනාශවෙමුව, ඔබගේ උදහසින් කැලඹෙමුව. 8 ඔබ අපේ අයුතුකම් ඔබ ඉදිරියෙහිද අපේ රහස් පව් ඔබගේ මුහුණේ එළියෙහිද තැබූසේක. 9 මක්නිසාද අපේ සියලු දවස් ඔබගේ උදහසින් ගෙවීයයි. අපේ අවුරුදු කථාවක් මෙන් කෙළවරකරමුව. 10 අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව. 11 ඔබගේ කෝපයේ බලයත් ඔබට භයවිය යුතු ප්‍රමාණයේ හැටියට ඔබගේ උදහසත් දන්නේ කවුද? 12 ඥානවන්ත සිතක් ලබාගන්නා පිණිස අපේ දවස් ගණින්ට ඉගැන්නුව මැනව. 13 ස්වාමිනි, හැරී අවමැනව; කොපමණ කල්ද? ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණ මැනව. 14 අපේ සියලු දවස්වලදී ප්‍රීතිසන්තෝෂ වෙන පිණිස, උදය කාලයෙහි ඔබගේ කරුණාවෙන් අප තෘප්තියට පැමිණෙවුව මැනව. 15 ඔබ අපට පීඩාකළ දවස් ගණන ලෙසද අප විසින් නපුර දුටු අවුරුදු ගණන ලෙසද අප සන්තෝෂකළ මැනව. 16 ඔබගේ ක්‍රියාව ඔබගේ මෙහෙකරුවන්ටත් ඔබගේ තේජස ඔවුන්ගේ දරුවන් කෙරෙහිත් පෙනේවා. 17 අපේ දෙවිවූ ස්වාමීන්ගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව; එසේය, අපේ අත්වල වැඩ ස්ථිරකළ මැනව. |
Ceylon Bible Society
Ceylon Bible Society