ගීතාවලිය 85 - Sinhala Revised Old Versionකරුණාව නැවත ලබාගැනීමට යාච්ඤාව 1 ස්වාමිනි, ඔබගේ දේශයට ඔබ කරුණාකළසේක. යාකොබ් වහල්කමින් මුදා ගෙනාසේක. 2 ඔබගේ සෙනඟගේ අයුතුකම කමා කළසේක, ඔවුන්ගේ පව් සියල්ල වැසූසේක. 3 ඔබගේ මුළු උදහස පහකරදැමූසේක. ස්වකීය තද කෝපයෙන් හැරුණුසේක. 4 අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, අප හැරෙවුව මැනව, අප කෙරෙහි වූ ඔබගේ කෝපය නැවැත්වුව මැනව. 5 ඔබ අප සමඟ සදාකල්ම උදහස් වනසේක්ද? සියලු පරම්පරාවලට ඔබගේ උදහස පවත්වනසේක්ද? 6 ඔබගේ සෙනඟ ඔබ කෙරෙහි ප්‍රීතිමත් වන පිණිස අප නැවත ජීවත් නොකරනසේක්ද? 7 ස්වාමිනි, ඔබගේ කරුණාව අපට දැක්වුව මැනව, ඔබගේ ගැළවීම අපට දුන මැනව. 8 දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක. නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා. 9 තේජස අපේ දේශයේ වසන පිණිස සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භයවෙන්නන් සමීපයෙහිය. 10 කරුණාවත් සැබෑකමත් සම්මුඛවූය; ධර්මිෂ්ඨකමත් සමාදානයත් ඔවුනොවුන් සිපගත්තුය. 11 සැබෑකම පොළොවෙන් හටගනී; ධර්මිෂ්ඨකමද ස්වර්ගයේ සිට බැලුවේය. 12 එසේය, ස්වාමීන්වහන්සේ යහපත් දේ දෙනසේක; අපේ දේශයද එහි ඵල දෙන්නේය. 13 ධර්මිෂ්ඨකම උන්වහන්සේට පෙරටුව යමින් උන්වහන්සේගේ පා සලකුණු මාර්ගයක් වන්ට සලස්වන්නේය. |
Ceylon Bible Society
Ceylon Bible Society