Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 73 - Sinhala Revised Old Version


තුන්වෙනි කාණ්ඩය. දුෂ්ටයන්ගේ ශුභසිද්ධිය ගැන ඊර්ෂ්‍යා නොවිය යුතු බව

1 සැබවින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට, එනම් පිරිසිදු සිත් ඇත්තන්ට, යහපත්ය.

2 එහෙත් මාගේ පාද ඉවතයන්ට ළං විය; මාගේ අඩි නොලිස්සුවා පමණය.

3 මක්නිසාද මම දුෂ්ටයන්ගේ අභිවෘද්ධිය දුටු කල, අහංකාරීන් කෙරෙහි ඊර්ෂ්‍යාකෙළෙමි.

4 මක්නිසාද ඔවුන්ගේ මරණයේදී වේදනා නැත. ඔවුන්ගේ ශක්තිය ස්ථිරය.

5 වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත.

6 එබැවින් ආඩම්බරය ඔවුන්ගේ බෙල්ලේ මාලාවක් මෙන්ය; බලාත්කාරය වස්ත්‍රයක් මෙන් ඔවුන් සරසයි.

7 ඔවුන්ගේ ඇස් තරකමින් නෙරා තිබේ. ලබන්ට ආශාවෙනවාටත් වඩා ඔවුන්ට සම්පත් ඇත.

8 ඔව්හු ගර්හාකෙරෙති, දුෂ්ටකමින් බලාත්කාරය ගැන කථාකෙරෙති. උඩඟුලෙස කථාකෙරෙති,

9 ඔව්හු තමුන්ගේ මුඛය අහසෙහි තබා තිබේ, ඔවුන්ගේ දිවද මුළු පොළොවෙහි සංචාරයකරයි.

10 එබැවින් උන්වහන්සේගේ සෙනඟ මෙතැනට හැරී එති. පිරුණු කුසලානකින් ඔව්හු වතුර බේරා බොති.

11 ඔව්හු කථාකොට: දෙවියන්වහන්සේ කෙසේ දන්නාසේක්ද? මහෝත්තමයාණන්ට දැනුම ඇද්දැයි කියති.

12 බලව, දුෂ්ටයෝ මොව්හුය; මොව්හු නිතර සැපසේ වෙසෙමින් වස්තුවෙන් වර්ධනයවෙති.

13 සැබවින් මාගේ සිත පවිත්‍ර කරගැනීමත් නිදොස්කමින් මාගේ අත් සේදීමත් නිෂ්ඵලවිය;

14 මක්නිසාද දවස මුළුල්ලේම පීඩාකරනු ලැබීමි, උදයක් පාසා තරවටුද ලැබීමි.

15 මම මෙසේ කථාකරන්නෙමියි කීයෙම් නම්; බලව, ඔබගේ දරුවන්ගේ පරම්පරාවට ද්‍රෝහියෙක් වෙමි.

16 මා විසින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ස්ථානයට ගොස් ඔවුන්ගේ අන්තිමය ගැන කල්පනා කරන තෙක්,

17 එය මට අධික වේදනා සහිත විය; එය දැනගත හැකි කෙසේදැයි සිතමින් සිටියෙමි.

18 සැබවින් ඔබ ඔවුන් ලිස්සන තැන්වල සිටුවනසේක. ඔබ ඔවුන් විනාශයට හෙළනසේක.

19 ඔවුන් ක්ෂණයකින් ශුන්‍යවූ හැටි! භීතිවලින් ඔව්හු සහමුලින්ම විනාශ වූවෝය.

20 යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.

21 එහෙත් මාගේ සිත කැලඹුණේය, මාගේ හෘදයට ඇන්නාක්මෙන් විය.

22 මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි.

23 එසේ නුමුත් මම නිතරම ඔබ සමඟය. ඔබ මාගේ දකුණත අල්ලාගත්සේක.

24 ඔබගේ මන්ත්‍රණයෙන් මට මග පෙන්වනසේක, පසුව තේජසට මා පිළිගන්නාසේක.

25 ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද? පොළොවෙහිද ඔබ හැර මා ආශා කරන කිසිවෙක් නැත.

26 මාගේ මාංසයත් සිතත් ක්ෂයවේ. දෙවියන්වහන්සේ මාගේ සිතේ ශක්තියද සදාකාලයට මාගේ කොටසද වනසේක.

27 මක්නිසාද ඔබ කෙරෙන් ඈත්ව සිටින්නෝ විනාශවන්නෝය. මිථ්‍යාචාරලෙස ඔබ කෙරෙන් පහව යන සියල්ලන් ඔබ විනාශකළසේක.

28 දෙවියන්වහන්සේට ළංවීම මට යහපත. ඔබගේ සියලු ක්‍රියා ප්‍රකාශකරන පිණිස, ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ සරණ කරගතිමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්