Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 65 - Sinhala Revised Old Version


ගොයම් කැපීමේ කාලය සහ අනතුරෙන් මිදීම ගැන ගීතය

1 දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ. භාරයද ඔබට ඔප්පුකරනු ලබන්නේය.

2 යාච්ඤා අසන තැනන්වහන්ස, මාංසමයවූ සියල්ලෝම ඔබ වෙතට පැමිණෙන්නෝය.

3 අයුතුකම් මාගෙන් ජයගනියි. ඔබ වනාහි අපේ අපරාධ පහකර දමනසේක.

4 ඔබගේ මිදුල්වල වාසයකරන පිණිස ඔබ තෝරාගන්නාවූ, ඔබට ළංවෙන්ට සලස්වන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දේය. ඔබගේ ගෘහයවූ ඔබගේ ශුද්ධ මන්දිරයේ යහපතින් අපි තෘප්තියට පැමිණෙන්නෙමුව.

5 පොළොවේ සියලු සීමාවලද මුහුදේ දුරස්තර තැන්වලද සිටින්නන්ගේ විශ්වාසයවූ අපේ ගැළවීමේ දෙවියන්වහන්ස, ඔබ භයානක දේවලින් ධර්මිෂ්ඨලෙස අපට උත්තරදෙනසේක.

6 උන්වහන්සේ බලය නමැති ඉඟපටියෙන් සැරසුණුසේක්, තමන් ශක්තියෙන් කඳු ස්ථිරකොට පිහිටුවනසේක.

7 උන්වහන්සේ මුහුදු ඝෝෂාවද එහි රැළ ඝෝෂාවද මනුෂ්‍ය වර්ගයන්ගේ කෝලාහලයද සංසිඳුවනසේක.

8 ඉතා දුර සීමාවල වසන්නෝද ඔබගේ ලකුණුවලට භයවෙති. ඔබ උදයද සවසද නික්මෙන ස්ථාන ප්‍රීතිමත්කරවනසේක.

9 ඔබ පොළොව බලා ඊට වැසි වස්වනසේක, බොහෝසෙයින් එය සාරවත් කරනසේක; දෙවියන්වහන්සේගේ ගංගාව වතුරෙන් පිරී තිබේ. ඔබ පොළොව මෙසේ පිළියෙළකොට ඔවුන්ට ධාන්‍ය සපයාදෙනසේක.

10 ඔබ එහි හීවිටි බොහෝසේ තෙමමින්, එහි පිඩලි සමතලා කරනසේක. ඔබ වැස්සෙන් එය බුරුල්කරමින්, එහි පැළෑටිවලට ආශීර්වාදකරනසේක.

11 ඔබ ස්වකීය යහපත්කම නමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසනසේක; ඔබගේ මාවත්වලින් සාරත්වය වැගිරෙයි.

12 ඒවා වනයෙහි පිට්ටනිවල වැගිරෙයි. හෙල්ද ප්‍රීතිය නමැති පටියෙන් සැරසී තිබේ.

13 ගොදුරු බිම් සිව්පා රැළවලින් පැළදීයයි; මිටියාවත්ද ගොයමින් වැසී තිබේ; ඒවා ප්‍රීතියෙන් ඝෝෂාකරමින් ගායනා කරති.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්