Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 64 - Sinhala Revised Old Version


නපුරන් කෙරෙහි දෙවියන්වහන්සේගේ විනිශ්චය

1 දෙවියන්වහන්ස, මාගේ විලාපයේදී මාගේ හඬට කන්දුන මැනව. සතුරු භයින් මාගේ ප්‍රාණය රැකගත මැනව.

2 නපුරුකම් කරන්නන්ගේ රහස් මන්ත්‍රණයෙන්ද අයුතුකම් කරන්නන්ගේ කෝලාහලයෙන්ද මා සඟවාගත මැනව.

3 රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔව්හු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට,

4 තික්ත වචන නමැති ඊගස් යෙදුවෝය. හදිසියෙන් ඔව්හු ඔහුට විද භයක් නැතුව සිටිති.

5 ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති; මලපත් සඟවා තැබීම ගැන කථාකෙරෙති; ඒවා පෙනෙන්නේ කාටදැයි ඔව්හු කියති.

6 ඔව්හු අයුතුකම් සොයති; අපි තියුණු යෝජනාවක් කරගතිමුයයි කියති. හැමදෙනාගේම අභ්‍යන්තර කල්පනාවත් සිතත් ගැඹුරුය.

7 නුමුත් දෙවියන්වහන්සේ ඔවුන්ට විදිනසේක; ඊගහකින් හදිසියෙන් ඔවුන්ට තුවාල වන්නේය.

8 ඔවුන්ගේ දිව මෙසේ තමුන්ටම විරුද්ධවී, ඔවුන්ගේ පැකිලීම සිදුවන්නේය. ඔවුන් දකින සියල්ලෝ හිස වනන්නෝය.

9 සියලු මනුෂ්‍යයෝ භයවන්නෝය; ඔව්හු දෙවියන්වහන්සේ කළ දේ ප්‍රකාශකරන්නෝය, උන්වහන්සේගේ ක්‍රියාව ගැන නුවණින් කල්පනාකරන්නෝය.

10 ධර්මිෂ්ඨයා ස්වාමීන් තුළ සන්තෝෂවන්නේය, උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නේය; අවංක සිත් ඇති සියල්ලෝද ජය ප්‍රකාශකරන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්