Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 63 - Sinhala Revised Old Version


දෙවියන්වහන්සේ සහ ශුද්ධස්ථානය කෙරෙහි ආශාවීම

1 දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.

2 මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින පිණිස ශුද්ධස්ථානයේදී ඔබ දෙස බලා සිටියෙමි.

3 මක්නිසාද ඔබගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත; මාගේ තොල් ඔබට ප්‍රශංසාකරන්නේය.

4 මෙසේ මම ජීවත්ව සිටින තෙක් ඔබට ප්‍රශංසාකරන්නෙමි. ඔබගේ නාමයෙන් මාගේ අත් ඔසවන්නෙමි.

5 මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,

6 මාගේ ආත්මය ඇටමිදුලුවලින්ද තෙලින්ද මෙන් තෘප්තියට පැමිණෙන්නේය; මාගේ මුඛයද ප්‍රීතිමත් තොල්වලින් ඔබට ප්‍රශංසාකරන්නේය.

7 මක්නිසාද ඔබ මාගේ පිහිට වූසේක, මම ඔබගේ පියාපත් සෙවණෙහි ප්‍රීති වන්නෙමි.

8 මාගේ ආත්මය ඔබට ඇලුම්ව ඔබ අනුව යයි. ඔබගේ දකුණත මා උසුලයි.

9 නුමුත් මාගේ ආත්මය විනාශකරන්ට සොයන්නෝ පොළොවේ ගැඹුරු තැන්වලට යන්නෝය.

10 ඔව්හු කඩුවේ බලයට පාවාදෙනු ලබන්නෝය. සිවලුන්ට ගොදුරක් වන්නෝය.

11 නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්