ගීතාවලිය 62 - Sinhala Revised Old Versionදෙවියන්වහන්සේ කෙරෙහි පමණක් විශ්වාසකිරීම 1 මාගේ ආත්මය දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටියි. මාගේ ගැළවීම පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. 2 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි. 3 මනුෂ්‍යයෙකු ඇල ගැසූ භිත්තියක් මෙන්ද සෙලවෙන වැටක් මෙන්ද නැතිකරන පිණිස නුඹලා සියල්ලෝ කොපමණ කල් ඔහුට විරුද්ධව සිටින්නහුද? 4 ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති. 5 මාගේ ආත්මය, දෙවියන්වහන්සේ කෙරෙහි පමණක් බලා සිටුව; මක්නිසාද මාගේ බලාපොරොත්තුව උන්වහන්සේ කෙරෙන්ය. 6 මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම නොසෙල්වන්නෙමි. 7 මාගේ ගැළවීමත් මාගේ උතුම්කමත් දෙවියන්වහන්සේගෙන්ය; මාගේ ශක්තියේ පර්වතයත් මාගේ රක්ෂාස්ථානයත් දෙවියන්වහන්සේ තුළෙහිය. 8 ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරව්; උන්වහන්සේ ඉදිරියේ නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂාස්ථානයක්ය. 9 සැබවින් අධමයෝ නිෂ්ඵලකමය, උත්තමයෝද බොරුවක්ය. තරාදියෙහි දැමුවොත් ඔවුන් ඉහළට යනවා ඇත; ඔව්හු එක්වූවත් නිෂ්ඵලකමට වඩා සැහැල්ලුය. 10 බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්. 11 දෙවියන්වහන්සේ එක් වරක් කීසේක, මම මෙය දෙවරක් ඇසීමි; එනම් බලය දෙවියන්වහන්සේට අයිති බවත්, 12 ස්වාමිනි, කරුණාවත් ඔබට අයිති බවත්ය. මක්නිසාද ඔබ එක එක මනුෂ්‍යයාට ක්‍රියාවේ හැටියට ප්‍රතිඵල දෙනසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society