ගීතාවලිය 61 - Sinhala Revised Old Versionසිත ක්ලාන්තව තිබෙද්දී විලාප කීම 1 දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව. 2 මාගේ සිත ක්ලාන්තවන කල පොළොවේ කෙළවර සිට ඔබට හඬ ගසන්නෙමි. මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව. 3 මක්නිසාද ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක. 4 මම ඔබගේ මණ්ඩපයෙහි සදාකල් වාසයකරන්නෙමි. ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි. 5 මක්නිසාද, දෙවියන්වහන්ස, ඔබ මාගේ භාර ඇසූසේක. ඔබගේ නාමය කෙරෙහි භය ඇත්තන්ගේ උරුමය මට දුන්සේක. 6 ඔබ රජහුගේ ආයු වැඩිකරනසේක. ඔහුගේ අවුරුදු බොහෝ පරම්පරා මෙන් වන්නේය. 7 ඔහු දෙවියන්වහන්සේ ඉදිරියෙහි සදාකල් වසන්නේය. ඔහු ආරක්ෂාකරන පිණිස කරුණාවත් සත්‍යතාවත් පිළියෙළකළ මැනව. 8 එවිට මාගේ භාර දවස්පතා ඉෂ්ට කරන පිණිස ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි. |
Ceylon Bible Society
Ceylon Bible Society