Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -

ගීතාවලිය 57 - Sinhala Revised Old Version


විපත්තියේදී විශ්වාසය ඇතුව සිටීම ‍‍

1 දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව, මට කරුණාකළ මැනව; මක්නිසාද මාගේ ආත්මය ඔබ සරණකොට ගනියි. එසේය, මේ විපත්ති නිමවන තෙක්, ඔබගේ පියාපත් සෙවණ සරණකොට ගන්නෙමි.

2 මහෝත්තමවූ දෙවියන්වහන්සේට, එනම් මට සියලු දේ කරදෙන්නාවූ දෙවියන්වහන්සේට හඬගසන්නෙමි.

3 මා ගිලගන්ට කැමති තැනැත්තා නින්දාකරන කල උන්වහන්සේ ස්වර්ගයෙන් පිහිට එවා මා ගළවනසේක; දෙවියන්වහන්සේ ස්වකීය කරුණාවත් සැබෑකමත් එවනසේක.

4 මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.

5 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.

6 ඔව්හු මාගේ පාදවලට දැලක් එළූය; මාගේ ආත්මය අවනතව තිබේ. ඔව්හු මා ඉදිරියේ වළක් හෑරුවෝය; තුමූම ඒ මැදට වැටුණෝය.

7 දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය, මාගේ සිත ස්ථිරය. මම ගීතිකාකරන්නෙමි, එසේය, ප්‍රශංසා ගී කියන්නෙමි.

8 මාගේ ගෞරවය පිබිදෙව; කුඩා වීණාවත් මහ වීණාවත් පිබිදෙව්. මමත් ඉතා අලුයම පුබුදින්නෙමි.

9 ස්වාමිනි, මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි; ජාතීන් අතරේ ඔබට ප්‍රශංසා ගී කියන්නෙමි.

10 මක්නිසාද ඔබගේ කරුණාව අහස දක්වාද ඔබගේ සැබෑකම වළාකුල් දක්වාද විශාලව තිබේ.

11 දෙවියන්වහන්ස, ඔබ අහසට වඩා උසස්වුව මැනව; ඔබගේ මහිමය මුළු පොළොවට ඉහළින් තිබේවා.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්