Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 56 - Sinhala Revised Old Version


අන්තරාවේදී භය නොවීම

1 දෙවියන්වහන්ස, මට කරුණාකළ මැනව; මක්නිසාද මනුෂ්‍යයා මා ගිලගන්ට කැමැත්තේය. ඔහු දවස මුළුල්ලේම යුද්ධකරමින් මට පීඩාකරයි.

2 මාගේ එදිරිකාරයෝ දවස මුළුල්ලේම මා ගිලදමන්ට කැමැත්තෝය. මක්නිසාද බොහෝ දෙනෙක්ම උඩඟු කමින් මට විරුද්ධව යුද්ධකරති.

3 මට භය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාසකරන්නෙමි.

4 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?

5 දවස මුළුල්ලේම ඔව්හු මාගේ වචන වරදවා පෙන්වති. ඔවුන්ගේ කල්පනා සියල්ලම මට උපද්‍රව පිණිසය.

6 ඔව්හු රැස්වෙති, සැඟවී සිටිති. මාගේ ප්‍රාණය නසන්ට ඔවුන් බලා සිටියාක්මෙන්ම, ඔව්හු මාගේ අඩිපාර රැක ඉඳිති.

7 ඔව්හු අයුතුකම් කරණකොටගෙන ගැළවී යන්නෝද? දෙවියන්වහන්ස, උදහසින් මනුෂ්‍ය වර්ගයන් හෙළාදැමුව මැනව.

8 ඔබ මාගේ මුළාවයාම් ගණිනසේක. මාගේ කඳුළු ඔබගේ භාජනයෙහි තැබුව මැනව; ඒවා ඔබගේ පොතෙහි ලියනලද්දේ නොවේද?

9 මා යාච්ඤාකරන දවසේ මාගේ සතුරෝ ආපසු හැරී යන්නෝය. මෙය මම දනිමි, දෙවියන්වහන්සේ මාගේ පක්ෂයෙහිය.

10 මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි.

11 දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කුමක් කරයිද?

12 දෙවියන්වහන්ස, ඔබට වූ භාර මා පිට තිබේ. මම ඔබට ස්තුති පූජා පුදන්නෙමි.

13 මක්නිසාද ඔබ මාගේ ප්‍රාණය මරණයෙන් මිදූසේක. මා ජීවතුන් පිළිබඳ එළියෙහි දෙවියන්වහන්සේ ඉදිරිපිට හැසිරෙන පිණිස ඔබ මාගේ පාද පැකිලීමෙන් නොවැලැක්වූසේක්ද?

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්