ගීතාවලිය 54 - Sinhala Revised Old Versionඅන්තරායෙන් මිදීම 1 දෙවියන්වහන්ස, ඔබගේ නාමය කරණකොටගෙන මා ගැළෙවුව මැනව, ඔබගේ බලයෙන් මට යුක්තිය කළ මැනව. 2 දෙවියන්වහන්ස, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ මුඛයේ වචනවලට කන්දුන මැනව. 3 මක්නිසාද විදේශීහු මට විරුද්ධව නැගිට සිටිති, බලාත්කාරකරන්නෝද මාගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවෝය. ඔව්හු තමුන් ඉදිරියෙහි දෙවියන්වහන්සේ තබා නොගත්තෝය. 4 බලව, දෙවියන්වහන්සේ මාගේ උපකාරකාරයාණෝය. මාගේ ප්‍රාණය ආරක්ෂාකරන්නන් අතරේ ස්වාමීන්වහන්සේ සිටිනසේක. 5 උන්වහන්සේ මාගේ සතුරන්ගේ නපුරට විපාක දෙනසේක. ඔබගේ සැබෑකම නිසා ඔවුන් විනාශ කළ මැනව. 6 මම ස්වෙච්ඡා පූජාවක් රැගෙන ඔබට පුදන්නෙමි. ස්වාමිනි, ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි, මක්නිසාද ඒ යහපත්ය. 7 මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදූසේක; තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ටවූ බව මාගේ ඇසින් දුටිමි. |
Ceylon Bible Society
Ceylon Bible Society