Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 50 - Sinhala Revised Old Version


යෝග්‍ය පූජා ඔප්පුකිරීමට දිව්‍ය ආරාධනාව

1 දෙවියන්වහන්සේ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකරමින් නැගෙනහිර පටන් බස්නාහිර දක්වා පෘථිවියට හඬගැසූසේක.

2 අලංකාරයේ සම්පූර්ණත්වය වූ සියොන්හි සිට දෙවියන්වහන්සේ බැබළූසේක.

3 අපේ දෙවියන්වහන්සේ වඩිනසේක, නිශ්ශබ්ද නොවනසේක. උන්වහන්සේ ඉදිරියෙහි ගින්නක් විනාශකරන්නේය, උන්වහන්සේ හාත්පසින්ද සැර කුණාටු අධිකවන්නේය.

4 උන්වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චයකරන පිණිස ඉහළ අහසටත් පෘථිවියටත් හඬගසනසේක.

5 පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.

6 අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශකරන්නේය; මක්නිසාද දෙවියන්වහන්සේම විනිශ්චයකාරයාණෝය.

7 එම්බා, මාගේ සෙනඟෙනි, අසව්, මම කථාකරන්නෙමි; එම්බා, ඉශ්‍රායෙල්, නුඹට විරුද්ධව සාක්ෂි දෙන්නෙමි. මම දෙවියන්වහන්සේය, එසේය, නුඹේ දෙවියන්වහන්සේය.

8 නුඹේ පූජා ගැන නුඹට තරවටු නොකරන්නෙමි; නුඹේ දවන පූජාද නිතර මා ඉදිරියෙහි තිබේ.

9 නුඹේ ගෙයින් ගොනෙක්වත් නුඹේ ගාල්වලින් එළුවන්වත් නොගන්නෙමි.

10 මක්නිසාද වනයේ සියලු සතුන් සහ දහස් ගණන් කඳුවල ගවයොත් මාගේය.

11 කඳුවල සියලු පක්ෂීන් දනිමි. කෙතේ වල් සත්තුද මාගේය.

12 මට බඩගිනි වීනම්, නුඹට නොකියන්නෙමි. මක්නිසාද ලෝකයත් එහි පූර්ණකමත් මාගේය.

13 මම ගව මස් අනුභවය හෝ එළු ලේ පානය කෙරෙම්ද?

14 දෙවියන්වහන්සේට ස්තුති යාගය පුදව; මහෝත්තමයාණන්ට නුඹේ භාර ඉෂ්ට කරව.

15 තවද විපත්ති දවසේදී මට යාච්ඤාකරව; මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරවකරන්නෙහිය.

16 නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම නුඹේ කටට ගැන්මෙන් නුඹට කම් කිම්ද?

17 මක්නිසාද නුඹ ගුරුකම් ලැබීමට අප්‍රියවන්නෙහිය, මාගේ වචනවලට පිටුපාන්නෙහිය.

18 නුඹ සොරෙකු දුටු කල ඔහු හා සමාගම් වුණෙහිය, කාමමිථ්‍යාචාරිකයන් සමඟ කොටස්කාරයෙක් වූවෙහිය.

19 නුඹේ කට නපුරට දී තිබේ, නුඹේ දිවද රැවටිලි යොදයි.

20 නුඹ ඉඳගෙන ඔබගේ සහෝදරයාට විරුද්ධව කථාකෙරෙහිය; නුඹේම මෑණියන්ගේ පුත්‍රයාට විරුද්ධව කේලාම්කියන්නෙහිය.

21 මේවා නුඹ කෙළෙහිය, මමද නිශ්ශබ්දව සිටියෙමි; මමත් සියලු ආකාරයෙන් නුඹට සමානයයි සිතුයෙහිය. එහෙත් නුඹට තරවටුකරන්නෙමි, නුඹේ ඇස් හමුවෙහි ඒවා පිළිවෙළින් තබන්නෙමියි කියනසේක.

22 දෙවියන්වහන්සේ සිහිනැතිකරන්නෙනි, මා විසින් ඉරනු නොලබන පිණිසත් ගළවන්ට කෙනෙක් නැති නොවන පිණිසත් මෙය කල්පනාකරව්.

23 ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්