ගීතාවලිය 5 - Sinhala Revised Old Versionසතුරන්ගෙන් මිදීම පිණිස යාච්ඤාව 1 ස්වාමිනි, මාගේ වචනවලට කන් යොමුකර, මාගේ භාවනාව සැලකුව මැනව. 2 මාගේ රජ්ජුරුවෙනි, මාගේ දෙවියන්වහන්ස, ඔබට යාච්ඤාකරමි; මාගේ හඬගැසීමේ ශබ්දයට ඇහුම් කන්දුන මැනව. 3 ස්වාමිනි, උදය වේලෙහි ඔබ මාගේ හඬ අසනසේක; උදය වේලෙහි ඔබට මාගේ යාච්ඤාව පිළියෙළකොට බලාසිටින්නෙමි. 4 මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රියවූ දෙවිකෙනෙක් නොවනසේක. නපුර ඔබ වෙත නොරඳන්නේය. 5 අහංකාරීහු ඔබගේ ඇස් හමුවෙහි නොසිටින්නෝය. අපරාධ ක්‍රියාකරන සියල්ලන්ට ඔබ ද්වේෂකරනසේක. 6 ඔබ බොරු කියන්නන් විනාශකරනසේක. මිනීමරුවූ ප්‍රයෝගකාරවූ මනුෂ්‍යයාට ස්වාමීන්වහන්සේ පිළිකුල් කරනසේක. 7 මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි. 8 ස්වාමිනි, මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව; මා ඉදිරියෙහි ඔබගේ මාර්ගය සමතලා කළ මැනව. 9 මක්නිසාද ඔවුන්ගේ මුඛයෙහි කිසි සැබෑකමක් නැත; ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවරවූ මිනීවළක්ය; ඔව්හු දිවෙන් චාටු බස් කියති. 10 දෙවියන්වහන්ස, ඔවුන් වරදකාරයන් මෙන් සැලකුව මැනව; ඔව්හු ස්වකීය මන්ත්‍රණයෙන්ම වැටෙත්වා. ඔවුන්ගේ අපරාධ රාශිය නිසා ඔවුන් බැහැරකළ මැනව; මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව කැරළිගැසූය. 11 නුමුත් ඔබ සරණකොට ගන්න සියල්ලෝ සන්තෝෂවෙත්වා, ඔබ ඔවුන් ආරක්ෂාකරන බැවින් සදාකල් ප්‍රීතිනාදකෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේමකරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීතිවෙත්වා. 12 මක්නිසාද ඔබ ධර්මිෂ්ඨයාට ආශීර්වාද කරනසේක; ස්වාමිනි, ඔබ පලිහකින් මෙන් කරුණාවෙන් ඔහු වටකරනසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society