Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 49 - Sinhala Revised Old Version


ලෝකයේ සම්පත්වල නිෂ්ඵලකම

1 සියලු මනුෂ්‍ය වර්ගයෙනි, මේ අසව්; උත්තමාධම

2 පොහොසත් අපොහොසත් ලෝවැසි සියල්ලෙනි, එක්ව කන්දෙව්.

3 මාගේ මුඛය ඥානය කථාකරන්නේය; මාගේ සිතේ භාවනාකිරීම ප්‍රඥාව ගැන වන්නේය.

4 උපමාවකට කන යොමුකරන්නෙමි. මාගේ ගාම්භීර වාක්‍ය වීණාවෙන් එළිදරව්කරන්නෙමි.

5 මා ලුහුබඳින අයුතුකම මා වටකරන කල, විපත්ති දවස්වලදී කුමට භයවෙම්ද?

6 ස්වකීය ධනය විශ්වාසකරන්නාවූ, තමුන්ගේ වස්තු වැඩිකමෙන් අහංකාර වෙන්නාවූ කිසිවෙක්,

7 තමාගේ සහෝදරයා සදාකල් ජීවත්වන පිණිසද කුණුවීම නොදක්නා පිණිසද

8 ඔහු නිදහස්කරන්ටවත් ඔහු උදෙසා දෙවියන්වහන්සේට මිදීමේ මිලයක් දෙන්ටවත් කිසිසේත් සමර්ථ නොවේ.

9 ඔවුන්ගේ ආත්ම මිදීම අගනා දෙයක් බැවින්, ඒක කරන්ට කිසිකලක උත්සාහ නොකළ යුතුය.

10 මක්නිසාද ප්‍රඥාවන්තයන් මැරී යන බවත්, අඥානයාද අල්ප බුද්ධි ඇත්තාද යන දෙදෙනාම විනාශවෙන බවත්, ස්වකීය ධනය අනුන්ට තබා යන බවත් ඔහු දක්නේය.

11 ඔවුන්ගේ සිතේ කල්පනාව නම්, තමුන්ගේ ගෙවල් සදාකාලේටද තමුන්ගේ වාසස්ථාන පරම්පරාවෙන් පරම්පරාවටද පවතින්නේය යනුයි; ඔවුන්ගේ ගම්බිම්වලට ස්වකීය නම් තබති.

12 එහෙත් මනුෂ්‍යයා ගෞරවයෙන් යුක්තව නොපවත්නේය; ඔහු විනාශවන තිරිසනුන් හා සමානය.

13 ඔවුන්ගේ මේ විධිය ඔවුන්ගේ මෝඩකමය. එහෙත් ඔවුන්ට පසුව එන්නෝ ඔවුන්ගේ කීම් පිළිගනිති.

14 ඔව්හු බැටළු රැළක් මෙන් ෂෙයෝලට නියමකරනු ලබති; මරණය ඔවුන්ගේ එඬේරා වන්නේය. අවංකයෝ උදය කාලයෙහි ඔවුන් කෙරෙහි බල පවත්වන්නෝය; ඔවුන්ගේ අලංකාරය වාසස්ථානයක් නොලැබ විනාශවන පිණිස ෂෙයෝලයට කැපවන්නේය.

15 නුමුත් දෙවියන්වහන්සේ මා පිළිගන්න නිසා ෂෙයෝලේ බලයෙන් මාගේ ආත්මය මුදාගන්නාසේක.

16 යමෙක් ධනවත් වන කල්හිද ඔහුගේ ගෙයි ඓශ්චර්යය වැඩිවන කල්හිද භය නොවව.

17 මක්නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය; ඔහුගේ ඉසුර ඔහු අනුව නොයන්නේය.

18 ඔහු ජීවත්ව සිටියදී තමා ගැනම පාරට්ටුකරගත්තේවී නුමුත්, නුඹ නුඹටම ශුභසිද්ධකරගන්නා කල්හි මනුෂ්‍යයන් නුඹට ප්‍රශංසා කරන නුමුත්,

19 ඔහු තම පියවරුන්ගේ පරම්පරාවට යන්නේය; ඔව්හු කිසිකලෙකත් එළිය නොදක්නෝය.

20 ගෞරව ලබන්නාවූ නුවණ නැත්තාවූ මනුෂ්‍යයා විනාශවෙන තිරිසනුන් හා සමානය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්