ගීතාවලිය 46 - Sinhala Revised Old Versionජාතියේ රක්ෂාස්ථානය 1 දෙවියන්වහන්සේ අපේ සරණ හා ශක්තියය, දුකේදී ඉතා ළංවූ පිහිටක්ය. 2 එබැවින් පොළොව වෙනස්වෙතත්, මුහුද මැද පර්වත සැලෙතත්, 3 එහි ජල ගුගුරා කැලඹෙතත්, එහි නගින රැළ වේගයෙන් පර්වත කම්පාවෙතත් භය නොවන්නෙමුව. 4 ගංගාවක් ඇත, එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත්කරයි. 5 දෙවියන්වහන්සේ ඒ මැද සිටිනසේක; එය නොසෙල්වන්නේය. දෙවියන්වහන්සේ අලුයම්හිම එයට උපකාරකරනසේක. 6 ජාතීහු කෝලාහල කළෝය, රාජ්‍යයෝ සෙල්වුණෝය. උන්වහන්සේ ස්වකීය හඬ නිකුත් කළසේක, පොළොව දියවූවාය. 7 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය. 8 එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්. 9 උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක. 10 නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි. 11 සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය. |
Ceylon Bible Society
Ceylon Bible Society