Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 4 - Sinhala Revised Old Version


දෙවියන්වහන්සේ තුළ නිශ්චලවීම

1 මාගේ ධර්මිෂ්ඨකමේ දෙවියන්වහන්ස, මා හඬගසන කල මට උත්තර දුන මැනව; විපත්තියේදී ඔබ මා මිදූසේක. මට කරුණකොට මාගේ යාච්ඤාව ඇසුව මැනව.

2 මනුෂ්‍ය පුත්‍රයෙනි, මාගේ ගෞරවය කොපමණ කල් අගෞරවයට පෙරළන්නහුද? නුඹලා කොපමණ කල් නිෂ්ඵල දේට ඇලුම්ව බොරුව සොයන්නහුද?

3 නුමුත් ස්වාමීන්වහන්සේ භක්තිවන්තයා තමන්ටම වෙන්කරගත් බව දැනගනිව්. ස්වාමීන්ට මා හඬගසන කල උන්වහන්සේ අසනසේක.

4 භයින් සිටිව්, පව් නොකරව්. යහනේදී තොපගේම සිතින් විමසා නිශ්චලවව්.

5 ධර්මිෂ්ඨකමේ පූජා පුදමින්, ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබව්.

6 අපට යහපතක් දක්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙන කියති. ස්වාමිනි, ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබළෙවුව මැනව.

7 ඔවුන්ගේ ධාන්‍ය හා මුද්‍රිකපානය වැඩිවූ කල්හි ඔවුන්ට ඇති ප්‍රීතියට වඩා ඔබ මාගේ සිතේ ප්‍රීතියක් ලූසේක.

8 මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි, ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්