Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 28 - Sinhala Revised Old Version


අපරාධකරන්නන් මධ්‍යයෙහි යාච්ඤාකිරීම

1 ස්වාමිනි, ඔබට හඬගසන්නෙමි; මාගේ පර්වතයාණෙනි මට කන් නොදී නොසිටිය මැනව. ඔබ නිශ්ශබ්දවූසේක්නම්, වළට බසින්නන් හා සමාන වන්නෙමි.

2 මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.

3 තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.

4 ඔවුන්ගේ ක්‍රියාව හැටියටත් හැසිරීම්වල දුෂ්ටකම හැටියටත් ඔවුන්ට විපාක දුන මැනව. ඔවුන් අතින් කළ ක්‍රියා ලෙස ඔවුන්ට කළ මැනව; ඔවුන්ට සුදුසුලෙස ප්‍රතිඵල දුනමැනව.

5 ඔවුන් ස්වාමීන්ගේ ක්‍රියා හෝ උන්වහන්සේගේ හස්තකර්ම හෝ නොසලකන බැවින් උන්වහන්සේ ඔවුන් බිඳ දමනසේක, ගොඩ නොනගනසේක.

6 ස්වාමීන්ට ප්‍රශංසා වේවා, මක්නිසාද උන්වහන්සේ මාගේ කන්නලව් ශබ්දය ඇසූසේක.

7 ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.

8 ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ ශක්තියය, උන්වහන්සේ තමන්ගේ අභිෂේකලත් තැනැත්තාට ගැළවීමේ බලකොටුවක් වනසේක.

9 ඔබගේ සෙනඟ ගළවා, ඔබගේ උරුමයවූවන්ට ආශීර්වාදකළ මැනව. ඔවුන් පෝෂණයකරමින්, සදාකල්ම ඉසුලුව මැනව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්