ගීතාවලිය 20 - Sinhala Revised Old Versionයුද්ධයට යෑමේදී කළ යාච්ඤාව 1 විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ නුඹට උත්තරදෙනසේක්වා; යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ නාමය නුඹ උසස්කෙරේවා; 2 ශුද්ධස්ථානයෙන් නුඹට පිහිට එවනසේක්වා, සියොන්හි සිට නුඹ ශක්තිමත් කරනසේක්වා; 3 නුඹේ පූජා සියල්ල සිහිකරනසේක්වා, නුඹේ දවන පූජාව පිළිගන්නාසේක්වා; 4 නුඹේ සිතේ ආශාව ලෙස නුඹට දෙනසේක්වා, නුඹේ මන්ත්‍රණ සියල්ල ඉෂ්ටකරනසේක්වා. 5 නුඹේ ගැළවීම ගැන අපි ජය ඝෝෂාකරන්නෙමුව, අපේ දෙවියන්වහන්සේගේ නමින් අපගේ කොඩි නගන්නෙමුව. ස්වාමීන්වහන්සේ නුඹේ සියලු ඉල්ලීම් ඉෂ්ටකරනසේක්වා. 6 ස්වාමීන්වහන්සේ තමන් අභිෂේකලත් තැනැත්තා ගළවන බව දැන් දනිමි; උන්වහන්සේ තමන් ශුද්ධවූ ස්වර්ගයේ සිට, තමන් දකුණතේ ගැළවීමේ ශක්තියෙන් ඔහුට උත්තරදෙනසේක. 7 සමහරු රථ කෙරෙහිද සමහරු අශ්වයන් කෙරෙහිද විශ්වාසකෙරෙති. නුමුත් අපි අපේ දෙවිවූ ස්වාමීන්ගේ නාමය සඳහන්කරන්නෙමුව. 8 ඔව්හු නැමී වැටී සිටිති. නුමුත් අපි නැගිට කෙළින් සිටිමුව. 9 ස්වාමිනි, ගැළවුව මැනව. අප හඬගසන කල රජ්ජුරුවෝ අපට උත්තරදෙනසේක්වා. |
Ceylon Bible Society
Ceylon Bible Society