Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 146 - Sinhala Revised Old Version


සර්ව බලසම්පන්න උපකාරකාරයාණෝ

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසාකරව.

2 දිවිහිමියෙන් ස්වාමීන්ට ප්‍රශංසාකරන්නෙමි. මා පවතින තුරු මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.

3 අධිපතීන් කෙරෙහිවත් පිහිටවිය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබව්.

4 ඔහුගේ හුස්ම නික්ම යයි, ඔහු ස්වකීය භූමියට හැරී යයි; එදාම ඔහුගේ කල්පනා නැතිවේ.

5 යාකොබ්ගේ දෙවියන්වහන්සේ උපකාරකොට ඇත්තාවූ, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි තමාගේ බලාපොරොත්තුව ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය.

6 උන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැවූසේක; උන්වහන්සේ සදාකල්ම සත්‍යය පවත්වනසේක.

7 උන්වහන්සේ පීඩා විඳින්නන්ට යුක්තිය ඉෂ්ටකරනසේක; උන්වහන්සේ බඩගිනිවූවන්ට කෑම දෙනසේක. ස්වාමීන්වහන්සේ හිරකාරයන් මුදනසේක.

8 ස්වාමීන්වහන්සේ අන්ධයන්ගේ ඇස් පහදනසේක; ස්වාමීන්වහන්සේ නැමී ගියවුන් කෙළින් සිටුවනසේක; ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ට ප්‍රේමකරනසේක;

9 ස්වාමීන්වහන්සේ විදේශීන් ආරක්ෂා කරනසේක; පියානැත්තා හා වැන්දඹුවට උන්වහන්සේ උපකාරකරනසේක; නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය වියවුල් කරනසේක.

10 එම්බා සියොන් නගරය, ස්වාමීන්වහන්සේ, එනම් නුඹේ දෙවියන්වහන්සේ, සදාකාලේටද සියලු පරම්පරා දක්වාද රජකම්කරනසේක. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්