Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 142 - Sinhala Revised Old Version


බලවත් අනතුරු අඩියක සිට කන්නලව්කිරීම

1 මාගේ ශබ්දය නගා ස්වාමීන්ට මොරගසමි; ස්වාමීන්ට මාගේ ශබ්දය නගා කන්නලව් කරමි.

2 මාගේ විලාපය උන්වහන්සේ ඉදිරියෙහි වගුරුවමි; උන්වහන්සේ ඉදිරියෙහි මාගේ දුක පෙන්වා සිටිමි.

3 මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවූ කල ඔබ මාගේ මාවත දැනගත් සේක. මා ගමන්කරන මාර්ගයෙහි ඔව්හු මට මලපතක් සඟවා තැබුවෝය.

4 මාගේ දකුණතට ඇස් හෙළා බැලුව මැනව; මක්නිසාද මා අඳුනන කිසිවෙක් නැත්තේය. මට රක්ෂාස්ථානයත් නැතිවිය; කිසිවෙක් මාගේ ප්‍රාණය ගැන සලකන්නේ නැත.

5 ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; ඔබ මාගේ රක්ෂාස්ථානයත් ජීවතුන්ගේ දේශයෙහි මාගේ කොටසත්යයි කීයෙමි.

6 මාගේ මොරගැසීමට කන්දුන මැනව; මක්නිසාද මම ඉතා පහත්කරනු ලැබීමි. මට පීඩාකරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය.

7 මා විසින් ඔබගේ නාමයට ස්තුතිකරන පිණිස මාගේ ආත්මය හිරගෙයින් මිදුව මැනව. ඔබ මට යහපත්කම්කරන බැවින් ධර්මිෂ්ඨයෝ මා පිරිවරාගන්නෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්