Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 14 - Sinhala Revised Old Version


දේවඅභක්තික ලෝකයා ගැන දුක්වීම

1 අඥානයා: දෙවිකෙනෙක් නැතැයි සිතින් කීය. ඔව්හු දුශ්චරිතයෙහි සිටිති, ඔව්හු පිළිකුල් ක්‍රියා කළෝය; යහපත කරන්නෙක් නැත.

2 නුවණින් ක්‍රියාකරන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දකින පිණිස, ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍යපුත්‍රයන් දෙස බැලූසේක.

3 සියල්ලෝම මුළාව ගොස් සිටිති; එකලෙස කිලුටුව සිටිති; යහපත කරන්නෙක් නැත, එසේය, එක්කෙනෙක්වත් නැත.

4 ආහාර කන්නාක්මෙන් මාගේ සෙනඟ කාදමන්නාවූ, ස්වාමීන්ට හඬ නොගසන්නාවූ, අයුතුකම් කරන සියල්ලන්ට කිසි දැනගැන්මක් නැද්ද?

5 ඔව්හු එහි මහත් භයින් සිටියෝය. මක්නිසාද දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාවෙහි සිටිනසේක.

6 ස්වාමීන්වහන්සේ දිළිඳාගේ රක්ෂාස්ථානය බැවින් නුඹලා ඔහුගේ මන්ත්‍රණය ලජ්ජාවට පෙරළන්නහුය.

7 අහෝ සියොන් කෙරෙන් ඉශ්‍රායෙල්ගේ ගැළවීම පැමුණුණොත් යහපත! ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ වහල්කමින් මුදා ගෙනෙන කල්හි, යාකොබ් ප්‍රීතිවන්නේය, ඉශ්‍රායෙල් සන්තෝෂවන්නේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්