ගීතාවලිය 13 - Sinhala Revised Old Versionස්වාමීන්වහන්ස, කොතෙක් කල්ද? 1 ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද? 2 කොපමණ කල් මාගේ ආත්මයෙන් මන්ත්‍රණ යොදමින්, දවස මුළුල්ලේ මාගේ සිතෙහි ශෝකය ඇතුව සිටිම්ද? කොපමණ කල් මාගේ සතුරා මා කෙරේ උසස්වන්නේද? 3 මාගේ දෙවිවූ ස්වාමිනි, මා සලකා මට උත්තරදුන මැනව. මරණ නින්දට මා නොපැමිණෙන පිණිස මාගේ ඇස් එළියකළ මැනව. 4 නැත්නම්: ඔහුගෙන් ජයගතිමියි මාගේ සතුරා කියන්නේය; මා චංචලවන කල මාගේ එදිරිකාරයෝද ප්‍රීතිවන්නෝය. 5 එහෙත් මම වනාහි ඔබගේ කරුණාව විශ්වාසකෙළෙමි; මාගේ සිත ඔබගේ ගැළවීමෙහි ප්‍රීති වන්නේය. 6 ස්වාමීන්වහන්සේ මට යහපත්කම් කළ නිසා උන්වහන්සේට ගායනාකරන්නෙමි. |
Ceylon Bible Society
Ceylon Bible Society