ගීතාවලිය 127 - Sinhala Revised Old Versionමුළු සඵලය දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බව 1 ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි. 2 වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක. 3 බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය. 4 බලවන්තයෙකුගේ අතෙහි ඊගස් යම්සේද යෞවන මවුපියන්ගේ දරුවොත් එසේමය. 5 එයින් පිරුණු ඊකොපුව ඇති මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. ඔව්හු දොරටුවේදී සතුරන් සමඟ කථා කරන විට ලජ්ජාවට පත් නොවන්නෝය. |
Ceylon Bible Society
Ceylon Bible Society