Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 112 - Sinhala Revised Old Version


ස්වාමීන්වහන්සේට භයවන්නාගේ වාසනාවන්තකම

1 ස්වාමීන්ට ප්‍රශංසාකරව්. ස්වාමීන් කෙරෙහි භයවන්නාවූ උන්වහන්සේගේ ආඥාවලට ඉතා ප්‍රියවන්නාවූ මනුෂ්‍යයා පිනැත්තේය.

2 ඔහුගේ වංශය පොළොවෙහි බලවත්වන්නේය. අවංකයන්ගේ පරම්පරාව ආශීර්වාද ලබන්නේය.

3 සම්පත්ද වස්තුද ඔහුගේ ගෙයි ඇත්තාහ. ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය.

4 සත්පුරුෂයාට අන්ධකාරයෙහිදී ආලෝකය උදාවේ. ඔහු දයාවන්තය, අනුකම්පාවෙන් පූර්ණය, ධර්මිෂ්ඨය.

5 කරුණාකරන, ණයට දෙන මනුෂ්‍යයාට ශුභ සිද්ධවේ; ඔහු විනිශ්චයේදී තමාගේ කාරණය ඉෂ්ටකරගන්නේය.

6 මක්නිසාද ඔහු කිසි කලෙකත් නොසෙල්වන්නේය; ධර්මිෂ්ඨයා සදාකල්ම සිහිකරනු ලබන්නේය.

7 ඔහු නරක ආරංචිවලට භය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබමින් ස්ථිරව තිබේ.

8 ඔහුගේ සිත සවිව තිබේ, තමා කැමති ලෙස එදිරිකාරයන්ට සිදුවෙනවා දකිනතුරු ඔහු භය නොවන්නේය.

9 ඔහු විසිරවූයේය, දිළිඳුන්ට දුන්නේය; ඔහුගේ ධර්මිෂ්ඨකම සදාකල් පවත්නේය. ඔහුගේ අඟ ගෞරවයෙන් උසස්වන්නේය.

10 දුෂ්ටයා ඒ දැක ශෝකවන්නේය; ඔහු දත්මිටිකා පහව යන්නේය. දුෂ්ටයන්ගේ ආශාව ඉෂ්ට නොවන්නේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්