Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගණන් කථාව 25 - Sinhala Revised Old Version


ඉශ්‍රායෙල්ගේ අනාචාරය සහ රූපවන්දනාවත් ඊට දඬුවමත්

1 ඉශ්‍රායෙල්වරු ෂිට්ටීම්හි සිටියෝය, එවිට සෙනඟ මෝවබ් දූවරුන් සමඟ වේශ්‍යාකම් කරන්ට පටන් ගත්තෝය.

2 ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.

3 තවද ඉශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය.

4 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ සියලු නායකයන් රැගෙන ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන් කෙරෙන් පහවෙන පිණිස ඔවුන් ස්වාමීන්වහන්සේ උදෙසා සූර්යයා ඉදිරිපිට එල්ලා තබන්නැයි කීසේක.

5 මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: නුඹලා එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය.

6 එකල ඔවුන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ හඬමින් සිටියදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් එක්කෙනෙක් මෝසෙස් ඉදිරියෙහිද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඉදිරියෙහිද මිදියන් ස්ත්‍රියෙකු කැඳවාගෙන තමාගේ සහෝදරයන් ළඟට ආයේය.

7 එවිට පූජකවූ ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍ර වන පීනෙහාස් ඒ දැක සභා මධ්‍යයෙන් නැගිට හෙල්ලයක් අතින් ගෙන,

8 ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.

9 වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.

10 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

11 පූජක ආරොන්ගේ පුත්‍රවූ එලෙයාසර්ගේ පුත්‍රයා වන පීනෙහාස් මා විසින් මාගේ ජවලිතයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විනාශ නොකරන පිණිස ඔවුන් අතරෙහි මාගේ ජවලිතයෙන් ජවලිතව සිටීමෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් මාගේ උදහස පහකෙළේය.

12 එබැවින් මාගේ ශාන්තියේ ගිවිසුම ඔහුට දෙමි.

13 ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.

14 මරනු ලැබු එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්‍රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය.

15 මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.

16 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

17 මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් නුඹලාට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් නුඹලාට සතුරුකම් කරන බැවින්,

18 ඔවුන්ට සතුරුකම්කොට පහරදෙන්නැයි කීසේක.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්