ගණන් කථාව 20 - Sinhala Revised Old Versionමිරියාම්ගේ මරණය 1 ඉශ්රායෙල් පුත්රයෝ එනම් මුළු සභාව පළමුවෙනි මාසයේදී ශීන් කාන්තාරයට ආවෝය; සෙනඟ කාදෙෂ්හි නවාතැන් ගත්තෝය; මිරියාම් එහිදී නැසී එහි තැන්පත්කරන ලද්දීය. 2 සභාවට වතුර නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ටද ආරොන්ටද විරුද්ධව රැස්වුණෝය. මෙරිබායේදී විවාදකිරීම 3 සෙනඟ මෝසෙස් සමඟ විවාදකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපේ සහෝදරයන් මැරුණ කල්හි අපිත් මැරුණෙමුනම් යහපත! 4 අපද අපේ සිව්පාවුන්ද මෙහි මැරෙන පිණිස නුඹලා ස්වාමීන්වහන්සේගේ සභාව මේ කාන්තාරයට ගෙනාවේ මක්නිසාද? 5 මේ නරක ස්ථානයට අප පමුණුවන්ට මිසරයේ සිට අප ගෙනාවේ මන්ද? මේක බීජවත් අත්තික්කාවත් මිදිවැල්වත් දෙළුම්වත් ඇති ස්ථානයක් නොවේ; බොන්නට වතුරත් නැතැයි කීවෝය. 6 මෝසෙස් හා ආරොන් සභාව ඉදිරියෙන් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට ගොස් මුහුණින් වැටුණෝය. ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන්ට පෙනුණේය. 7 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: 8 නුඹද නුඹේ සහෝදරවූ ආරොන්ද සැරයටිය රැගෙන, සභාව රැස්කර, පර්වතය විසින් ඒකේ වතුර දෙන ලෙස ඔවුන්ගේ ඇස් ඉදිරිපිට ඊට කථාකරන්න; එසේ ඔවුන්ට පර්වතයෙන් වතුර ගෙන්වා සභාවටත් ඔවුන්ගේ සිව්පාවුන්ටත් බොන්ට දෙන්නැයි කීසේක. 9 මෝසෙස් ස්වාමීන්වහන්සේ ඔහුට අණකළ ලෙස උන්වහන්සේ ඉදිරියෙන් සැරයටිය ගත්තේය. 10 මෝසෙස් සහ ආරොන් සභාව පර්වතය ඉදිරියට රැස් කළෝය. ඔහු: කැරළිකාරයිනි, අසන්න; අප විසින් මේ පර්වතයෙන් නුඹලාට වතුර ගෙන්වා දෙන්ටදැයි ඔවුන්ට කියා, 11 තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය. 12 ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට කථාකොට: නුඹලා ඉශ්රායෙල් පුත්රයන් ඉදිරියෙහි මට ගෞරව පැමිණෙන ලෙස මා කෙරෙහි විශ්වාස නොකළ බැවින් මේ සභාවට මා විසින් දුන් දේශයට නුඹලා ඔවුන් නොපමුණුවන්නහුයයි කීසේක. 13 ඒ වනාහි මෙරිබා වතුරය; එහිදී ඉශ්රායෙල් පුත්රයෝ ස්වාමීන්වහන්සේ සමඟ විවාදකළෝය, එහෙත් උන්වහන්සේ ඔවුන් අතරෙහි ගෞරවකරනු ලැබූසේක. ඒදොම්ගේ සතුරුකම 14 එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය. 15 අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය. 16 අපි ස්වාමීන්වහන්සේට මොරගැසුවෙමුව, එවිට උන්වහන්සේ අපේ හඬ අසා දූතයෙකු එවා අප මිසරයෙන් පිටතට ගෙනාසේක. ඉතින් අපි නුඹේ සීමාන්තයෙහි නුවරක් වූ කාදෙෂ්හි සිටිමුව. 17 නුඹේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින්වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, නුඹේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය. 18 ඒදොම්ද: නුඹ මාගේ රට මැදින් නොගිය යුතුය, ගියොත් මම නුඹට විරුද්ධව කඩුව ගෙන එන්නෙමියි ඔහුට කීවේය. 19 ඉශ්රායෙල් පුත්රයෝද: අපි මහ මාවත යන්නෙමුව. අපි එනම් මාද මාගේ සිව්පාවුන්ද නුඹේ වතුර බීවොත් ඒවාට මිල ගෙවන්නෙමු. වෙන කිසි දෙයක් නොකොට මට පයින් යන්ට පමණක් ඉඩ දුනමැනවයි කීවෝය. 20 ඔහු: නුඹ නොඑවයි කීවේය. තවද ඒදොම්වරු මහත් සෙනඟක්ද බලවත් අතක්ද ඇතුව ඔවුන්ට විරුද්ධව ආවෝය. 21 මෙසේ ඒදොම්වරු තමුන්ගේ සීමාව මැදින් ඉශ්රායෙල්ට යන්ට දෙන්ට අකැමැති වූහ. එබැවින් ඉශ්රායෙල්වරු ඔවුන් කෙරෙන් අහක්ව ගියෝය. ආරොන්ගේ මරණය 22 ඉශ්රායෙල් පුත්රයෝ එනම් මුළු සභාව කාදෙෂ්හි සිට ගමන්කොට හෝර් කන්දට පැමුණුණෝය. 23 ස්වාමීන්වහන්සේ ඒදොම් දේශයේ සීමාව ළඟ හෝර් කන්දේදී මෝසෙස්ට හා ආරොන්ට කථාකොට: 24 ආරොන් තමාගේ සෙනඟට එකතුවන්නේය. මක්නිසාද නුඹලා මෙරිබාහි වතුර ළඟදී මාගේ වචනයට විරුද්ධව කැරළිකාරව සිටිය බැවින් ඉශ්රායෙල් පුත්රයන්ට මා විසින් දුන් දේශයට ඔහු ඇතුල්නොවන්නේය. 25 ආරොන් සහ ඔහුගේ පුත්රවූ එලෙයාසර් කැඳවාගන හෝර් කන්දට අවුත්, 26 ආරොන්ගේ වස්ත්ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්රවූ එලෙයාසර්ට අන්දවන්න. ආරොන් එහිදී මැරී තමාගේ සෙනඟට එකතුවන්නේයයි කීසේක. 27 මෝසෙස් ස්වාමීන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු මුළු සභාව ඉදිරියෙහි හෝර් කන්දට නැංගෝය. 28 එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය. 29 මුළු සභාව එනම් මුළු ඉශ්රායෙල් වංශය ආරොන් මළ බව දුටු කල ආරොන් ගැන තිස් දවසක් වැලපුණාහ. |
Ceylon Bible Society
Ceylon Bible Society