ගණන් කථාව 18 - Sinhala Revised Old Versionපූජකයින් හා ලෙවීවරුන්ගේ යුතුකම් හා නඩත්තුව 1 ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹේ පිය වංශයද ශුද්ධස්ථානය සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද නුඹලාගේ පූජකකම සම්බන්ධ අයුතුකම ගැන වග කියනවා ඇත. 2 නුඹේ පිය ගෝත්‍රයවූ ලෙවීගේ ගෝත්‍රය වන නුඹේ සහෝදරයන්ද නුඹට එකතුවී නුඹට සේවයකරන පිණිස ඔවුන් නුඹ සමඟ ළඟට පමුණුවාගන්න. එහෙත් නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද සාක්ෂි මණ්ඩපය ඉදිරියෙහි සිටින්න. 3 ඔව්හු නුඹටත් මුළු කූඩාරමටත් සේවයකරත්වා. ඔවුන්වත් නුඹලාවත් නොනසින පිණිස ඔව්හු ශුද්ධස්ථානයේ භාජනවලටවත් පූජාසනයටවත් ළංනොවෙත්වා. 4 කූඩාරමේ සියලුම සේවය පිණිස ඔව්හු නුඹට එකතුවී සම්මුඛවීමේ කූඩාරම සම්බන්ධව සේවය කරත්වා. අන්‍යයෙක් නුඹලා ළඟට නොපැමිණේවා. 5 ඉශ්‍රායෙල් පුත්‍රයන් පිට උදහස තවත් නොපැමිණෙන පිණිස ශුද්ධස්ථානයේ භාරයද පූජාසනයේ සේවයද නුඹලා විසින් බලාගතයුතුය. 6 බලව, මම ලෙවීවරුන්වූ නුඹලාගේ සහෝදරයන් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගතිමි. සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කරන පිණිස නුඹලාට ත්‍යාගයක් කොට ඔව්හු ස්වාමීන්වහන්සේට දෙනලද්දෝය. 7 නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක. 8 ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. 9 ගින්නෙහි නොදවන්නාවූ අති ශුද්ධ දේ වලින් නුඹට අයිති වන්නේ ඔවුන්ගේ සියලු පූජා එනම් ඔවුන්ගේ සියලු ආහාර පූජාද ඔවුන්ගේ සියලු පාප පූජාද ඔවුන්ගේ සියලු වරද පූජාද යන මේවාය; ඔවුන් මට දෙන දේවල් නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් අති ශුද්ධ වන්නේය. 10 අතිශුද්ධ දේවල් ලෙස එයින් කන්න. සියලු පිරිමින්ට එයින් කන්ට පුළුවන; ඒක නුඹට ශුද්ධ වන්නේය. 11 මේවාත් නුඹට අයිතිය, එනම්, ඔවුන්ගේ දීමනාවේ එසවීමේ පූජාවවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලුම තේව පූජාය. ඒවා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ. නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන. 12 තෙල්වලින් උතුම්වූ කොටසද මුද්‍රික යුසයෙන් හා ධාන්‍ය වලින් උතුම්වූ කොටසද වන ඔවුන් ස්වාමීන්වහන්සේට දෙන්නාවූ දේවල ප්‍රථම ඒවා මම නුඹට දුනිමි. 13 ඔවුන් ස්වාමීන්වහන්සේට ගෙනෙන්නාවූ ඔවුන්ගේ දේශයෙහි තිබෙන සියලු දේවල ප්‍රථම ඵල නුඹට වේ; නුඹේ ගෙයි පවිත්‍රව සිටින සියල්ලන්ට එයින් කන්ට පුළුවන. 14 ඉශ්‍රායෙල්වරුන් අතරෙහි කැපකරනලද සියල්ල නුඹට වන්නේය. 15 ස්වාමීන්වහන්සේට ඔප්පුකරනු ලබන සියලු සත්වයන්ගෙන් මනුෂ්‍යයන්ගේ වේවා මෘගයන්ගේ වේවා ගර්භයේ සියලුම ප්‍රථම ඵල නුඹට අයිතිය. එසේවී නුමුත් මනුෂ්‍යයන්ගේ කුලුඳුලන් නුඹ සැබවින් මිදිය යුතුය, අපවිත්‍ර මෘගයන්ගේ කුලුඳුලන්ද නුඹ විසින් මිදිය යුතුය. 16 මසක දරුවා පටන් ඔවුන්ගෙන් මුදනු ලබන්ට සිටින්නන්, නුඹේ නියමයේ හැටියට, ගේරා විස්සක්වූ ශුද්ධස්ථානයේ ෂෙකෙලේ ප්‍රකාරයට, ෂෙකෙල් පහකට මුදන්න. 17 එහෙත් එළදෙනෙකුගේ හෝ බැටළුදෙනෙකුගේ හෝ එළුදෙනෙකුගේ හෝ කුලුඳුලා නොමිදිය යුතුය, උන් ශුද්ධය. උන්ගේ ලේ පූජාසනය පිට ඉස, ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස ගිනි පූජාවක් කොට උන්ගේ තෙල දවන්න. 18 එහෙත් උන්ගේ මාංස නුඹට වන්නේය, තේව ළැපැත්ත හා දකුණු කළවය නුඹට වන්නාක්මෙන් ඒවාත් නුඹට වන්නේය. 19 ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන ශුද්ධ දේවලින් සියලු එසවීමේ පූජා නුඹටත් නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටත් නුඹේ දූවරුන්ටත් සදාකාලේට නියම කොටසක් කොට මා විසින් දී තිබේ. ඒක නුඹටත් නුඹ සමඟ නුඹේ වංශයටත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තරවූ ලවණ ගිවිසුමක්යයි කීසේක. 20 ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: ඔවුන්ගේ දේශයෙහි කිසි උරුමයක්වත් ඔවුන් අතරෙහි කිසි කොටසක්වත් නුඹට නොවන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නුඹේ කොටසද නුඹේ උරුමයද මමය. 21 බලව, ලෙවීගේ පුත්‍රයන්ට ඔවුන් කරන මෙහෙය එනම් සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය නිසා උරුමයක් කොට ඉශ්‍රායෙල්වරුන්ගේ සියල්ලෙන් දසයෙන් කොටසක් මා විසින් දී තිබේ. 22 ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාපය දරා නොනසින පිණිස මෙතැන් පටන් රැස්වීමේ කූඩාරම ළඟට නොපැමිණෙත්වා. 23 එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය. 24 මක්නිසාද එසවීමේ පූජාවක් කොට ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන දසයෙන් කොටස ලෙවීවරුන්ට උරුමයක් කොට මා විසින් දී තිබේ. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි කිසි උරුමයක් ඔවුන්ට නොලැබෙන්නේය කියා මම ඔවුන්ට කීයෙමියි කීසේක. 25 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 26 තවද නුඹ ලෙවීවරුන්ට මෙසේ කියන්න–නුඹලාගේ උරුමය කොට මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දී තිබෙන දසයෙන් කොටස නුඹලා ඔවුන්ගෙන් ගන්න කල එයින් දසයෙන් කොටසක් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් කොට ඔප්පුකරන්න. 27 නුඹලාගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද නුඹලාට ගණන්ගනු ලබන්නේය. 28 මෙලෙස නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් ලබන නුඹලාගේ ඒ සියලුම දසයෙන් කොටස්වලින් නුඹලාත් ස්වාමීන්වහන්සේට එසවීමේ පූජාවක් ඔප්පුකර ස්වාමීන්වහන්සේගේ එසවීමේ පූජාව පූජකවූ ආරොන්ට දෙන්න. 29 නුඹලාට ලැබෙන සියලු දීමනාවලින් ස්වාමීන්වහන්සේගේ සියලු එසවීමේ පූජා නුඹලා ඔප්පුකළයුතු වන්නේ සියලු උතුම් කොට්ඨාසවලින්ය, එනම් එයින් ශුද්ධවූ කොටසය. 30 එබැවින් නුඹලා එයින් උතුම් කොට්ඨාසය ඔප්පුකරන විට එය පාවරේ අස්වැන්න මෙන්ද මිදි පැසේ පූර්ණකම මෙන්ද ලෙවීවරුන්ට ගණන්ගනු ලබන්නේය. 31 එය සම්මුඛවීමේ කූඩාරමෙහි නුඹලාගේ මෙහෙයට විපාකය වන බැවින් නුඹලාටත් නුඹලාගේ ගෙයි වැසියන්ටත් සියලු තැන්හිදී එය කන්ට පුළුවන. 32 එසේ නුඹලා එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට නුඹලා නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක. |
Ceylon Bible Society
Ceylon Bible Society