Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එළිදරව් 7 - Sinhala Revised Old Version


දෙවියන්වහන්සේගේ සැබෑ සේවකයන් ආරක්ෂාකිරීම

1 ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි.

2 තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා:

3 අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු, ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්නැයි කීය.

4 තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ සතළිස් සාරදහසක්ය.

5 යූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රාකරනු ලැබුවෝය. රූබෙන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,

6 ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,

7 සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,

8 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මුද්‍රාකරනු ලැබුවෝය.


දුක් පීඩා පසුකොට පවිත්‍රකරනු ලැබූවන් ගැන දර්ශනය

9 ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි;

10 ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය.

11 සියලු දේවදූතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකරමින්: ආමෙන්.

12 ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය.

13 එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: සුදු සළු පැළඳ සිටින මොව්හු කවුරුද? කොතැනින් ආවෝදැයි මාගෙන් ඇසුවේය.

14 මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය.

15 එබැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති; උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවයකරති. සිංහාසනයෙහි වැඩහිඳින තැනන්වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක.

16 ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත.

17 මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්