Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එළිදරව් 6 - Sinhala Revised Old Version


පොතේ මුද්‍රා කැඩීම

1 තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි.

2 එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය; ඔටුන්නක්ද ඔහුට දෙනලද්දේය. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිසද පිටත්ව ආවේය.

3 උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩූ කල, දෙවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි.

4 තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.

5 උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය.

6 ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල්වලටත් මුද්‍රිකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි.

7 උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි.

8 එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.

9 උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි.

10 ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය.

11 ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සළුවක් දෙනලද්දේය. ඔවුන් ලෙසම මරනු ලබන්ට සිටින්නාවූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණවන තුරු, තව ස්වල්ප කාලයක් නවතින්ට කියා ඔවුන්ට කියනලද්දේය.

12 උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,

13 මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය.

14 අකුලනලද පොතක් මෙන් අහස පහකරනලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථානවලින් පහකරන ලද්දේය.

15 පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය;

16 ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න.

17 මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්