Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එළිදරව් 10 - Sinhala Revised Old Version


බලවත් දේවදූතයා සහ කුඩා පොත

1 තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;

2 ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා,

3 සිංහයෙකු ගොරවන්නාක්මෙන් මහත් ශබ්දයකින් මොරගැසුවේය.

4 ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වූවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය.

5 මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවාවූ දේවදූතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා:

6 සදාකාලේටම ජීවත්වන්නාවූ, සවර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද,

7 සත්වෙනි දේවදූතයාගේ ශබ්දකිරීමේ දවස්වලදී, ඔහු පිඹින්ට යන කල, දෙවියන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශකළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේය කියාද කීවේය.

8 ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කථාකරමින්: නුඹ ගොස්, මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටින දේවදූතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අරගන්නැයි මට කීවේය.

9 මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය.

10 එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය.

11 තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්