Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

එසකියෙල් 35 - Sinhala Revised Old Version


ඒදොම්ට විරුද්ධව අනාගත වාක්‍ය කීම

1 තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:

2 මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සේයිර් කන්ද දෙසට හරවාගන, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියමින්,

3 මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: එම්බා සේයිර් කන්ද, බලව, මම නුඹට විරුද්ධව සිට, මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, නුඹ පාළුවක්ද නාස්තියක්ද කරන්නෙමි.

4 මම නුඹේ නුවරවල් පාළුවක් කරන්නෙමි, නුඹ නාස්තියක් වී, මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.

5 නුඹ නිරන්තරයෙන් සතුරුකම පවත්වමින් සිට අන්තිමයේ අයුතුකමේ කාලයට පැමුණුණු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ විපත්ති කාලයේදී ඔවුන් කඩුවේ බලයට පාවාදුන් බැවින්,

6 මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: මම නුඹ ලෙයට සූදානම්කරන්නෙමි, ලේද නුඹ පස්සේ එළවාගෙන එනවා ඇත. නුඹ ලේ වැගිරවීමට ද්වේෂ නොකළ බැවින්, ලේ එළවාගෙන එනවා ඇත.

7 මම සේයිර් කන්ද පාළුවක්ද නාස්තියක්ද කොට, එහි යන එන කෙනෙක් නැතුව තිබෙන්ට සලස්වන්නෙමි.

8 මැරුම්කන ඔහුගේ අයගෙන් ඔහුගේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වලද නුඹේ මිටියාවත්වලද නුඹේ සියලු දෙණිවලද කඩුවෙන් මැරුම්කන අය වැටෙනවා ඇත.

9 මම නුඹ සදහටම පාළුවක් කරන්නෙමි, නුඹේ නුවරවලද වැසියෝ නොසිටින්නාහුය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.

10 ස්වාමීන්වහන්සේ මෙහි සිටියදීත් නුඹ: මේ ජාති දෙකද මේ රටවල් දෙකද මට අයිතිවන්නේය කියාත් අපි එය හිමිකරගන්නෙමුය කියාත් කී බැවින්–

11 මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ පෑවාවූ නුඹේ උදහසේ හැටියටත් නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට කරන්නෙමි; මා නුඹ විනිශ්චයකරන කල ඔවුන් අතරෙහි ප්‍රකාශවන්නෙමි.

12 ඒවා පාළුවී අපේ භුක්තියට දී තිබේය කියා නුඹ ඉශ්‍රායෙල් කඳුවලට විරුද්ධව කීවාවූ නුඹේ සියලුම අපහාස කථා ස්වාමීන්වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහිය.

13 නුඹලාගේ මුඛයෙන් නුඹලා මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව නුඹලාගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.

14 ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුළු පොළොව ප්‍රීතිවන අතර නුඹ පාළුවක් කරවන්නෙමි.

15 ඉශ්‍රායෙල් වංශයේ උරුමය පාළුවක් වුණ බැවින් නුඹ ඊට ප්‍රීති වුණාක්මෙන් මම නුඹට එසේම කරන්නෙමි. එම්බා සේයිර් කන්ද, නුඹ සහ මුළු ඒදොම් මුළුමනින්ම පාළුවක් වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්